Friday, October 12, 2012

මාත් මගේ හිතත් අරන් නුඹ ඈතක ගියා


මාත් මගේ හිතත් අරන් නුඹ ඈතක ගියා 
කාත් කවුරුවත් නැති මට තනිකම ළඟ තියා 
ඈත් මෑත් කර හදවත කවුළුපියන් අයා
රෑත් දහවලෙත් විමසමි යළි දැයි කියා 

කවියක පදයක් වාගෙයි මගේ හිතට ඔයා 
ඔබ නාමෙන් හිත මත්තේ ගීයක් ඇත ලියා 
ගීයට තනුවක් විලසින් ආවොත් මා සොයා 
සදාකල්ම රැක ගන්නෙමි පෙම් ගීතය ගයා 

තරු ඉහිරුණු අහස දෙසට යුග දෙනෙතම අයා 
වරුවක් අපි තරු ගනිමුද තරුවක පෙම ලියා 
වැතිරී ඔය උරතල මත උණුසුම් සුව සොයා 
සැනහෙන්නම් මගේ හිතම ඔබ ගාවින් තියා 

සයුරු රළට වෙරළ විලස ඔබ පෙර මග රැඳෙමි 
ගිමන නිවන රුකක් ලෙසින් ඔබට සෙවන සදමි 
කවියට එළිවැටක් වෙලා ඔබ හිත මත වෙළෙමි  
සතුටක් වී දිවිය පුරා ඔය ඇස් මත නිදමි 

තණ නිල්ලක පිණි බිඳු මත උදෑසනක දුවමි 
හසරැල්ලක සඟවා ගෙන විත් පිණි බිඳු ඉසිමි 
සිහිලැල්ලක තවරා මුදු හාදු කොපුල තබමි 
දඟ කෙල්ලක විලස සදා ඔබ ගාවම රැඳෙමි  

තරුවකවත් නොමැති එළිය ඔය දෙනෙතේ දකිමි 
දවසක්වත් ඔබව අතැර ඉවතක මම නොයමි 
කිරුළක් ලත් රැජිනක ලෙස හද විමනේ රැඳෙමි
මොහොතක්වත් අතැර ගියොත් ඔබ නාමෙන් මියෙමි 

No comments:

Post a Comment