Monday, October 15, 2012

හැකි නම් එන්න නික්මී …


මිහිරක් වෙලා නෙතෙහි
අවුදින් ඔබම රැඳුනි
දිවියත් මගේ ඔබ වී 
සතුටෙන් සිතම පිරුණි ...

පැතුමක් වෙලා හිනැහී 
සිත ගාව ඉනු දැනුනි 
සුළඟක්ව සිහිලස දී 
සිත පුරා ඔබ වෙලුනි .....

අකුණක් වගේ පිපිරී 
සැණෙකින් සිතට දුක දී 
තරුවක් වගේ නොපෙනී
කොහේදෝ ගියේ සැඟවී ...

කඳුලක් නෙතින් ගිලිහී 
අඳුරෙන් ලොවම වැසුනි 
ඔබ නෑ කියා සිහි වී 
තනියක් සිතට දැනුනි .....

වරුවක් හඬා ලතැවී
යන්තන් දුකත් මැකුනි 
ආයෙත් හෙටත් හඬමි
තනිකමට පෙම් බඳිමි ...

පෙම් හීන එළි නොවුනි
බොඳ වී ගිලිහී වැටුණි 
දිගු රැයම ඉකි බිඳුණි 
තනි හිතට දුක දැනුනි …

වෙන් වී ගියත් දුක දී
ඔබ සිත පුරා රැඳුනි 
පෙර අප මතක සිහි වී 
කඳුලක් හොරෙන් වැටුණි… 

ඔබමයි ගියේ සැඟවී 
තනිකම මෙමට පුද දී 
මේ හිත ඔබෙයි දනිමි
හැකි නම් එන්න නික්මී …

No comments:

Post a Comment