Thursday, January 24, 2013

ගමේ ගිය පෙම්වති ..

නිවාඩුවට ගම ආවට කඳ මලු බැඳගෙන 
තාමත් හිත කොලොම්පුරේ මාර ගහක් යට 
නෙලුම් විලේ පීදෙන මල් හිනා සලන විට 
ඔබ උන්නා හිත ඇතුලෙන් හිනා වේවි මට... 
පුංචි ඇස් දෙකෙන් ලස්සන රහසක් කිය කිය ....

ගුරු පාරේ බොරළු ගොඩේ ඇවිදන් යන විට 
මතක් වුණා අත්වැල් බැඳ ඇවිදන් ගිය හැඩ 
පොද වැස්සේ කුඩේ යටදී කොපුල සිඹ රඟ 
මතක් වෙලා මහ හයියෙන් හිනා ගියා මට 
කාටත් රහසෙම ....

වෙල් නියරෙදි කෙහෙ රැළි සුළඟට සැලෙනා විට 
නළලේ රඟන දඟ කෙහෙ රොද මතක් වුනා මට 
තරු ඇස් යට ආදරයේ පැහැ තවරන්නට 
සිදාදියට එන තුරු මග බලා හිඳින් නුඹ 
වෙනදා වාගෙම ....

Friday, January 18, 2013

පාර කියනවද හීනෙට ඇවිදින් යන්න ..


හීන අරන් හිත අද්දර විත් නවතින්න
නෙතු මානයේ සෙනෙහස් සුසුවඳ ගවසන්න 
දෙකොපුල් මත ආදරයේ හාදු තියන්න 
පාර කියනවද හීනෙට ඇවිදින් යන්න ..

සඳ සිසිලේ පිණි පලසේ ඇවිදන් යන්න
මද අඳුරේ හිනැහෙන තරු මල් අහුලන්න 
රෑ අහසේ ආදරයේ පැහැ තවරන්න 
එන්නම් හීනෙට ඔය හිත ළඟ නවතින්න 

තනි හිතට සවියක් වෙලා


මල් සුවඳක් වගේ 
රහසින් ඇවිත් ඔබ 
තුන් හිතම පෙම්වත් කළා ...

මිහිරි ගීයක් වගේ 
හිතෙහිම රැඳී ඔබ 
ජීවිතය ගීයක් කළා....

සඳ මඩලක් වගේ 
හිනැහී දිලී ඔබ 
සිත් අහස් කුස එළි කළා....
  
තනි තරුවක් වගේ 
ළඟ ඉනු මැන සදා ඔබ 
තනි හිතට සවියක් වෙලා...

අම්මාට එතෙර සිට


උකුලෙ විඳි සුව පෙරදී දිනයක 
මතක් වෙනවා මැවි මැවී 
කිරට හැරි ඔබ රුහිරු බිඳුවෙන් 
මගේ ජීවය පණ ලැබී 
එඩිය ඔබ දුන් ගතෙහි ඇට මස්
නහර ඔස්සේ යයි ඇදී 
එදා වාගෙම අදත් රැව් දෙයි 
ඔබේ මිහිරැති නැළවිලි

ඇඟිලි තුඩගින් 'හිස පිරි මැද
කොපුල් තල සිඹ සනසලා 
පුතුනි, දිනයක රජෙකු වියන් 
කීය සිනහා තවරලා 
වැටෙන විට ළඟ රැඳුනි නිරතුරු 
මහ මෙරක සවියක් වෙලා 
ඔබයි පුන් සඳ දිලෙන අඹරෙහි 
එකළු කරමින් කළු වළා 

පහන් තරුවක් ලෙසින් දිලිහි 
මග නොමග පෙන්වා දුනි  
නෙතින් දහසක් වදන් තෙපලා 
උන්නු ගොළු වූ මුවඟිනි
යොදුන් ගණනක් දුර ගෙවා ගෙන 
ඇවිත් දැවටී සෙනෙහෙනි 
නමා මා හිස ඔබේ පාමුල 
වඳිමි සැමදා බැතියෙනි 

පුර හඳට පෙම් බඳින රෑ පිපි කැකුළු මල මමයි


සුළඟ වගේ ඔබ ආවම හිතම හරි දඟයි 
සිත පුරා ඇවිද ඔබ මත අලුත් පද ගොතයි 
කවියක්ව සදා ඔය හිත මත නිදන්නට හිතයි 
නමුත් කෙලෙස ලං වන්නද ඔබ හුඟක් දුරයි 

දොඩමළු දෑසින් ඈත ඉදන් හුඟක් දේ කියයි 
රහස කිමැයි දැන ගන්නට ලං වෙන්න බයයි 
රෑ අහස වගේ හිනැහෙන තරු ඇස් මගෙයි සිතෙයි 
පුර හඳට පෙම් බඳින රෑ පිපි කැකුළු මල මමයි 

ඉඳින්නම් යළි මග බලා ...


ඇහේ කඳුලක හිර වෙලා 
නික්ම ගිය උණුහුම පතා 
වරු ගණන් මග බලා හිටියා 
උන් තැනම මා ගොළු වෙලා 

මලක පෙති මත දුක ලියා 
හැඬුව සමනල ඇස් දිහා 
බලා උන්නා කඳුළු සඟවන් 
ලොව දකී යැයි බය නිසා 

මතකයක් වී සිත පුරා  
මහ බරට අඩි තිය තියා 
ඇවිදිමින් සිත පෙළන ඔබ දෙස 
බලා ඉන්නම් දුක දරා 

සුළං රැල්ලක දවටලා  
ලොවට රහසෙන් මා කරා 
පුරුදු උණුසුම එවනු හැකි නම් 
ඉඳින්නම් යළි මග බලා 

Wednesday, January 2, 2013

හැර ගියේ මා කිම්ද ..


නොපෙනෙන්න උන්න නම් දුකක් නෑ මගෙ හිතට  
යළි යළිත් ඔබ එද්දී දුවයි හිත අතීතෙට 
ලං වෙලා මා වින්ද පෙර පුරුදු සුවඳකට 
රිදෙන සිත ඉකි ගසයි අත වනා කඳුලකට 

පෙර දිනෙක ඔබ පෑව සුමුදු මදහාසයක
වෙලී සිත දුර ගියා පෙම ලියා ගීතයක 
යළි ඇසී පෙර ගැයූ සොඳුරු ගී රාවයක 
හැඩ බලමි ගිලිහෙනා උණු කඳුළු මාලයක 

පෙර දිනෙක මගේ හිත පුරාවට ඔබ ඇන්ද
ආදරේ සිතුවමක පාට බොඳ වී මන්ද 
පපුතුරෙහි හිස හොවා පෙර දිනෙක මා වින්ද 
සිසිල සොයනෙමි අදත් හැර ගියේ මා කිම්ද 

රෝස සුවඳක් වෙලා අවුත් මා හිත පුරා 
නේක රසඳුන් මැවූ ආදරේ මල්සරා 
මා අතැර ගිය දුකින් හඬමි තනිකම දරා 
වැරදුනොත් යනෙන මග යළි එන්න මා කරා 

~~~~සිල්~~~~




බැද්ද උඩින් හඳ ඇවිදින් හිනා වෙද්දී -----------අපුරුවට 
ඉද්ද ගහම සිල් අරගෙන සුදු රෙද්දක් වගේ-------- ජයට 
සද්ද නොකර අඩි තිය තිය හෙමින් සැරේ ------අසීරුවට 
රෙද්ද සුදට ඇඳගෙන අත්තම්මා ගොහින් සිල් --ගන්නට 

දෝත මුදුනේ බැඳ වැඳගෙන සාදුකාර -------------දිදී 
කේලම් මළු එකින් එකට හොරෙන් හොරෙන් ----අදී
ගම පුරාම ගෑණුන්ගේ ගලවනවා ---------------- රෙදී 
ඕනා නැති දේටත් ඈ මහා හයියෙන් --------------වඳී

කල් ගත කර හවස් කොරේ ගෙදරට ගොඩ ----වෙනා 
පල් හෑලිම දොඩවයි සිල් ගන්න ගොහින් ------ගෙනා 
යල් පැන ගිය සුදු රෙදී ටික හනි හනිකට --------උනා 
සිල් මුදවයි රඳවා සිටි සුදු පැහැ -------------ඇඳුමෙනා

ළසොවින් වැළපෙන ඔබේ ආදරී ..


කඳුලක් ගානේ ඔබ නම ලියලා
සුසුමක් ගානේ මතකය ඔතලා
පා කර එවනෙමි යළි ඔබ සොයලා 
අමතක නොවෙනා 
ඔබේ ආදරී ..
ළසොවින් වැළපෙන ඔබ නැති සොවිනා... 

හිතුවක්කාරී වී ළඟ සැමදා 
ඉන්නට පැතුවත් මතකය වළ දා
මා මෙහි තනිකර ඔබ ගිය පෙර දා 
කඳුලක් නැගුනයි දෙකොපුල පිසදා 

උරුමක්කාරී ඔබෙමයි කියලා
හිටියත් සැමදා මා මග බලලා
මග බැලූ නෙතු මත කඳුලක් තියලා 
ගියේ ඇයි ඈතට මා සිත පෙළලා

රෑ තුන් තිස් පැය පෙර මග බලලා 
උන්නත් ඔබ එන්නැති බව දැනිලා 
සිහිනෙක ඔබ රුව දකිතැයි සිතලා 
නිදියා ගත්තෙමි සුසුමක් හෙළලා 

ඔබගේ නාමෙන් පැතුමන් දරලා 
කවදා හෝ ඔබ යැයි සිතලා 
තවමත් ඉන්නෙමි පෙර මං බලලා
අදවත් එනු මැන පෙම් සිත සොයලා 

ඔබ යළි එනතුරු මා සිත සොයලා
මග බලමින් ඉමි කඳුලැලි පිසලා 
පෑරුණු හිත මත සිනහව තබලා 
ගුලි වෙමි ලය මත දෑසම වසලා 

අපෙ අප්පච්චි



සතුටකදිත් 
හිනා නොවෙන
දුක හංගන්
බලා හිඳින 
මුවින් එකදු 
වදනක් වත් 
නොදොඩා 
මුනිවතම රකින
නමුත් 
දරු පෙමින් සිත යට 
දස දහසක් 
බස් තෙපලන 
අපෙ අප්පච්චි ....

අම්මේ



පිපි කුසුමක සුවඳ වෙලා 
මද පවනක සිසිල වෙලා 
ළඟ රැඳෙනා හුස්ම වෙලා 
සඳු වී ලොව එකළු  කළා 

සිනහව වී මුවේ ඇඳුනු 
අරමුණ වී ලඟම  රැඳුනු 
කවියක් වී සිතේ ගෙතුණු 
ඔබමයි හිරු සදා දිලුණු 

දරු පෙම හද තුළ කැටි කොට 
සෙනෙහෙන් ගත ලේ කිරි කොට 
පෙව් ලේ කිරි මහිමෙට 
සදා ණය ගැතිය නුඹ හට