වසන්තයට පූදින්නට
පෙරුම් පුරන මල් කැකුළක්
පෙමින් හිරු කිරණ විඳිනට
බලා ඉන්නවා..
ලපළු තුරු ලතා සිඹ සිඹ
දුවන සිහිල් මදපවනට
මල් කැකුළ සෙමින් රහසින්
සිතැඟි කියනවා...
වසන්තය ලඟයි, නෑ දුර
ඉදින් ඉවසනුව කැකුළිය
සෙමින් මුමුණමින් මදනල
දුරක ඇදෙනවා...
වසන්තය අරන් හිරු එන
අළුත් නැකතකින් මල්වර
වෙන්නෙමැයි සිතා ඉවසා
පියුම හිඳිනවා...
කීරි ගැහෙන මේ පපුවට
සවන් යොමා අහං ඉන්න
හැම හුස්මක් ගානේ නුඹ
නම කියවෙනවා...
නුඹ නොදන්න ගොඩක් රහස්
හිත මුමුණනවා...
කඳුළු පිරිණු මේ ඇස් යට
එක මොහොතක් සැඟව ඉන්න
නුඹේ නමින් ඇස් අද්දර
හීන පිරෙනවා...
කවදාවත් නුඹ නොදකින
පැතුම් මැවෙනවා...
ආලවන්ත පෙම් ගීයක
පද පෙළවී රැඳී ඉන්න
ඔබ නොදන්න කවි සහසක්
හිත ලියැවෙනවා...
ඔබෙ නාමෙන් ඒ පදවැල්
තොල් මුමුණනවා...