Wednesday, January 2, 2013

මතක මත හිඳ



පුංචි තරුවක් වෙලා සඳේ සෙවනෙහි ...............පිපුන 
පෙර වින්ද සෙනෙහසේ සුවඳකින් හිත .............රිදුන 
අකීකරු කඳුළකින් තාරුකා ඇස් ...................පෙඟුන 
දරා ගමි අහිමි දුක ඔබ නිසා මට ......................දැනුන 

පෙර ලෙසින් අදත් මං ඔබ එතැයි  .................සිතනවා 
එදා වාගෙම තවම හුරු සුවඳ ......................දැනෙනවා 
ඇඟිලි තුඩු පෙර වින්ද උණුහුමක් ..............සොයනවා 
එන තුරා මග බලන නෙතු කෙවෙනි .........තෙමෙනවා 

සිහිනයක් වෙලා වත් ආයෙ ඇවිදින් .................යන්න 
නිදි නොමැති දෙනෙත් මත මට හොරෙන් සැතපෙන්න 
පුරුදු සෙනෙහස බිඳක් මා ලඟම .................තවරන්න 
ඔබ නමින් තව අලුත් කවි ගීත .....................පබඳින්න 

පෙමක නටබුන්


මලක සියුම් පෙති පොඩි කර සිතැඟි ..ලෙසේ 
දුරක ඇදුනු පාදඩ වන බඹරෙකු ............සේ 
හිතක තැවුල් රඳවා දී කඳුළු ..............ඇසේ 
අහක බලා ගෙන ඔබ උන්නේද ......කෙසේ 

මුව සිඹ ලඟින් හිඳ මගේ සුදු මැණික ...කියා 
මම ළඟ හිඳින්නෙමි කිසිදා ඉවත......නොයා 
මවමින් සුර ලොවක් මා නෙතු අසල ...තියා 
සුළඟක් ලෙසින් අවුදින් රහසේම .......ගියා 

ලය මත හිස හොවා සිහිනෙක සුව .......වින්ද 
ඔය සුදු මුහුණ සිහිවෙයි මා මන ..........බැන්ද 
ගිය කල මතක් වෙත්දී නැහැ නෙත .....නින්ද 
මිය ගිය පෙමක නටබුන් සොයනුයේ ...මන්ද 

ප්‍රේමයක් තිබේ මා ළඟ තුන් සිත නළවන


හීනයක් වගේ අවුදින් සිත වට ........දැවටෙන 
ගීතයක් වගේ රහසින් සවණත ......මිමිණෙන 
මේඝයක් වගේ නොකියා ඇවිදින් ..සැඟවෙන 
ප්‍රේමයක් තිබේ මා ළඟ තුන් සිත ......නළවන  

හීනයක් දිගේ අවුදින් ඔබේ සිත .........සොයා 
ගීතයක් වගේ මිමිනෙමි ඔබෙ දෙතොල් ..අයා 
තාලයක් ලෙසින් දැවටෙමි ලයෙහි හිස ..තියා 
කාලයක් ඒවි ඉන්නට ලඟම දුර ........නොයා 

ඔබ නමින් දකින හීනයේ සැමදා ......දැවටෙමි 
ආදරේ ගඟක් දෝතින් ඔබ වෙත පුද ......දෙමි 
ගීතයක් ලෙසින් මිහිරැති දිවියම .........සරසමි 
ජිවිතේ ඔබයි ඔබ ළඟ සැමදා තනි ........වෙමි 

කවියක් වී ළඟ ඉන්නම්


තරු ඇස් හැඬුවා ඇති දුක දැරුවා මං 
බැහැනෙ හිනා වෙන්න 
සඳු ගාව ඉඳන් මැකුවාට තනිය 
බැහැ සඳ සෙවනේ ඉන්න 
දේදුන්න වෙලා දිලුනාට අහස්කුස 
විගසින් වෙයි සමු ගන්න 
හිරු වාගේ හිඳින් නුඹ ඈත දිලෙන 
පොඩි තරුවක් වී ඉන්න ....

නිල් පාට දෙනෙත් යට හීන දරා ගෙන 
එපා ඇස් අරින්න 
මල් හීන බිඳුනොතින් කඳුළු ඒවි 
නිල් ඇස් යුග රතු වෙන්න
හීනයක් වෙලා හැමදාම හිඳින්නම් 
බෑ හැබැහින් ලඟ ඉන්න 
මද සුළඟ ඇවිත් හීනයම බිඳෙයි 
සුළඟට එය පවසන්න 

කඳුළු එපා මට හිනා අරන් 
ඔබ හෙටත් ඇවිත් යන්න 
පොද වැස්ස වගේ ඉරි තැලුණු දැවුණු 
සිත් මලට ඇද වැටෙන්න 
හීනයක් වෙලා ඇස් ගාව නිදන්නම් 
පුංචි ඉඩක් දෙන්න 
කවිකාර හිතට දුක් දෙන්න එපා 
හැමදාම ලඟින් ඉන්න 

කඳුළු බරයි මට දෙන්න දුකයි 
මං කඳුළු දරා ගන්නම් 
තරු කැකුළ මමයි නිල් අහස නුඹයි 
හැමදාම හිනා වෙන්නම් 
මල් හීන දුරයි හීනයම නුඹයි 
ඒ හීනෙම දැවටෙන්නම් 
සඳු වාගේ හැඩයි මගෙ ලොවම ඔබයි 
කවියක් වී ළඟ ඉන්නම් 

තනිකමේ විරහ කව


දහක් හදවත් අතර වෙහෙසී සෙවූ මුත් ඉන්නට ඉඩක් 
පරාජිත පෙම් කඳුළු මිස නොදුටුවෙමි හිනැහෙන එක හදක් 
සඳුට හැකිවෙද එළිය කරනට ලොවම එක ලෙස සේ ඉරක් 
කඳුළු අතරෙන් සිනා සෙනු එය වේවි සැනසුම දෙන මගක්  

සියක් දහසක්  නුවන් මැද තනිකමෙන් සිත වැළපුණු  තරන් 
හයක් හතරක් නොදන්නා පොඩි එකෙකු සේ ඉන්නම් දරන් 
හෙටත් උදයේ හිරු වඩින කල නැවුම් සුබ පැතුමන් පුරන් 
යළිත් පෙර සේ සිනාසෙන්නම් නැගුණු කඳුලැලි කර  තුරන් 

රැයේ පිබිදී රැයෙහි සැඟවෙන ලොවක් නුදුටුව කඩුපුලක් 
ලෙසින් මියැදෙයි සිතක් මත කිසිවෙකුත් තව නොදුටුව පෙමක් 
හඬන්නට මිස සිනාසෙන්නට කඳුළු නැති හින්දා ඇසක් 
ලියා තබනෙමි ඔබේ නාමෙන් තනිකමේ විරහා කවක් 

හුදකලාවේ කවිය


හද සිතාරේ 
තත් පිරිමදි 
නුඹ
වෙලී සෙනෙහස් 
ලතාවේ ...
හුදකලාවේ 
කවියක් ලියයි 
නුඹ 
මහද සෙනෙහස් 
ගුලාවේ ...
මද සිනාවේ 
සිතුවම් අඳී 
නුඹ 
හද ගැබේ 
හුස්මක් ගානේ ..
පෙම් පුරාණේ 
අලුතින් ලියමු 
අපි 
බැඳී ආදර 
විමානේ ...

අභිනික්මන් ....

මගුල් බෙර මැද හැඩට සරසා පළන්දා යස තැලී පිලි 
ගෙනා නිවසට ලබා දුන්නෙමි අඳුර මැද වුව කල එළි 
ලඟින් හිඳ දුක සතුට එක ලෙස බෙදා ගත් ඔබෙ සමනළි 
දමා යන්නට හැකිද දැක දැක නෙතින් ගිලිහෙන කඳුලැලි 

නිවන් මග කොහි වේද නොදනිමි දරමි ගිහිගෙයි බර හිසින් 
රකිමි දරුවන් උපන් ඔබගෙන් දිවා රෑ ඇස් දෙක ලෙසින් 
දවන මුත් සිත ගතද කිසිදා නොවිඳි මේ තනිකම් දොසින් 
තනිව ඉවසමි දරා වැගිරෙන උණු කඳුළු මාගේ ඇසින්   

යසෝදර වී බවෙන් බවයට ඔබත් සමගම එන්නැති 
ලේන කුලයේ සිටම ඔබෙ වී ඔබේ සෙවනෙම ඉන්නැති 
නමුත් සසරට බැඳ තබන්නට මගේ තුන් හිතකත් නැති 
ඉදින් සමු ගනු මියෙන තුරු සැනසෙන්න ඔබ දුන් පෙම ඇති