Thursday, July 11, 2013

තරුව මමයි ඔබ ගාවම ඉන්න සඳවතී

මන්දාරම් අහස වගෙයි හඬන සිත මගේ
දරාන දුක සඟවා ගමි කඳුළු නැඟි ඇසේ
දුරින් බලා උන්නට ලං වෙන්න පින් නැතේ
හැමදාමත් හිනා වෙලා වෙන්ව යමු මෙසේ

දෙනෝදහක් ඇස් මග දිග දකින්නට ඇති
ඔය ඇස් මිස වෙන කිසිවක් මතක මත නැති
වදනක් වත් නොදොඩා දුන් සිනහා තොල් පෙති
මගෙ නොවුණත් මගෙයි කියා දරා ගමි නිති

හමුව සිනාසෙමු ලංවී ඉන්න පින නැති
හැම මොහොතෙම ලඟම රැඳෙමි සුළඟ හා එතී
එක කඳුළක් වත් හෙළන්න එපා දුක සිතී
තරුව මමයි ඔබ ගාවම ඉන්න සඳවතී

මා ළඟ ඉන්න ඒ මට ඇති


රෑ අහසයි ඔයා
තරු එළියක් වෙලා
පායන්නට පිනක් මට නැති

මල් කැකුළයි ඔයා
රොන් කෙමියක් වෙලා
ළඟ ඉන්නට පිනක් මට නැති

මද සුළඟයි ඔයා
මල් සුවඳක් වෙලා
දැවටෙන්නට පිනක් මට නැති

පිය දසුනයි ඔයා
රෑ සිහිනය වෙලා
මා ළඟ ඉන්න ඒ මට ඇති

පාර මතක නම් එනකල් බලා ඉන්නවා ...


ආයෙමත් අලුත් කඳුළක්
මෝදු වී දෙනෙත් අභියස
රූරලා වැටෙනු රිසියෙන්
බලා හිඳිනවා ....

සෝදලා හරින්නට දුක
ඉකි ගසා හඬමි වරුවක්
ඒ වුණත් තවම මතකයෙ
නුඹ හිනැහෙනවා ...

පාරලා යළි යළිත් මේ සිත
මතක මත රැඳී හිනැහෙන
සමු නොගෙන දුරක ගිය නුඹ
මගෙයි සිතෙනවා ....

මේ හිතම ඔබෙයි තාමත්
ආදරේ එදා වගෙමයි
පාර මතක නම් එනකල්
බලා ඉන්නවා ...

නෑ තව කඳුළු මා නෙත් විලේ ....

හොර රහසේ ඇවිත්
හිත ළඟ නැවතිලා
පෙම් කවියක් ලියා මා සිතේ
නැවතී ඉන්න ඉඩ ඉල්ලනා
කටකාර කුමරාණනේ ..

නෙතු කඳුලක් තියා
මා හිත් මල පෙළා
නුඹ දුර යාවි යළි හෙට දිනේ
දුක් කවියක් ලියා මා සිතේ
උණු කඳුළක් තියා නෙත් ඉමේ ....

රිදුනා එක වරක්
හැඬුවා මම හුඟක්
ඇයි ලං වෙන්නේ ඔබ මේ ලෙසේ
යළි රිදවන්න බෑ හිත මගේ
නෑ තව කඳුළු මා නෙත් විලේ ....

මාය ඔබගේ පෙම්වතී ..


හිරුත් ලොව නොදුටුව පැතී
සොයා සුළඟක් යයි නිති
එවන් සුලඟක එති එතී
ඔබේ හිත මත ඉමි නිති

අඳුරු රෑකදී සඳු නැති
කුමුදු සුපිපෙන්නේ නැති
කුමුද වී පිපෙනට නිති
ඔබයි මාගේ සඳවතී

සතුට වී නෙතු මත එතී
ඔබම සැමදා ඉන්නැති
කඳුළු ආවත් දුක හිතී
මාය ඔබගේ පෙම්වතී

අලුතෙන් කඳුළැල්ලක් එපා ගෙනෙන්න ....

සීතල ඇස් අද්දර
කඳුළු වේළුනා විතරයි
අලුතෙන් කඳුළැල්ලක්
එපා ගෙනෙන්න ....

උහුලපු දුක් ගින්දර
නිවිලා නෑ  තවමත්
අලුතෙන් දුක් කන්දක්
එපා දෙවන්න .....

සිහිනය නපුරුයි දුටු
පාරයි සිත සිය වර
අලුතෙන් හීන අරන්
හිතට නොඑන්න ....

කඳුළයි උරුමය මට
සිනහව නෑ දැන් ළඟ
අලුතෙන් හිනා මලක්
එපා පුදන්න .......

දෙව් සමිඳාණනේ ....



දරන් අත් දොළසක් ද හිස් හය වඩින මයුරා වාහනේ
තෙදින් බලගතු දෙනෙත් යොමනා සතට දෙව් සමිඳාණනේ
බැඳන් හිස අත් පුදා මොණරුන් තබා පුජා භාජනේ
සවන් යොමවා අසන්නෙද නුඹ ඔවුන් යදිනා කාරණේ

මවක් අවුදින් දෑත දරමින් වට්ටියක පලතුරු තියා
විභාගෙට තව සතියකුත් නෑ මගේ පුතු හට කිය කියා
මොණර කොළ යට ලොකුම  අකුරෙන් විභාගයෙ අංකය ලියා
යදී දෙවියන් නිසොල්මන් වී දෑස තද කර ගෙන පියා

සුදෝ සුදු ඇඳුමකින් සරසා දරා ගෙන මහ උදරයක්
අඳුරු කළ රථයකින් බිම බට සමග වට රැඳි පිරිවරක්
අයෙක් පීරා සෙනඟ පිය මැන දෙවිඳු අභියස පියවරක්
යදී ඇසෙනා නෑසෙනා ලෙස ලබා දෙන්නට යළි ජයක්

හඬා වැළපී ගසා හිස අත් කියන්නට තම වේදනා
ඉඩම් නඩුවට, තරග දිනුමට කී නොකී නෙක කාරණා
හිත් දරා ගෙන ගෙවා බෝ දුර ඔබ වෙතට ආ මේ දනා
රකින්නේ ඔබ කෙලෙස දෙවිඳුනි කිව මැනේ  මට කුළුනිණා

Friday, May 31, 2013

දුරින්ම ඉන්නම් එතකොට පුළුවන් හොඳින් බලා ගන්න ...

ආල හිනා ළඟ කෝල වෙලා මං බයෙන් බලන් උන්නා
දෑස පුරා රස රහස් ලියා නුඹ අලුත් හිනා දුන්නා
පාන හිනාවෙන් පාර කියා නුඹ අනන්තයක් මැව්වා
පාර දුරයි මට යන්න බයයි මං දෑස් පියන් වැහුවා

හිත හිරිවට්ටන ඔය ඇස් මානෙන් වහං වෙලා යන්න
දුකක් දැනෙනවා හිතෙන් අදිනවා ඔබේ ලඟින් ඉන්න
දාහක් ඇස් අප දිහා බලන් ඇති අපටත් නොදැනෙන්න
දුරින්ම ඉන්නම් එතකොට පුළුවන් හොඳින් බලා ගන්න

නාදුනන නුඹට ...

මගේ ඇස් ගැන මටත් වැඩියෙන් නුඹ කොහොම දන්නේ
හිනාවක් හිතවත් කමක් මිස කිසිත් නෑ දුන්නේ
ගමේ මා ගැන කතා හැදුනොත් කෝම ඉවසන්නේ
ළඟට නෑවිත් දුරින් උන්නොත් නෑ දොසක් වෙන්නේ

දිනක් දෙකකට වැඩිය මා නෑ තවම නුඹ දැකලා
එකක් දෙහෙකට වැඩිය වදනුත් නැතේ මා දොඩලා
නුඹ මගේයැයි කිසිම මොහොතක නැතේ මට දැනිලා
ඉතින් කෝමද නුඹේ වෙන්නේ නුඹට හිත පුදලා

අහම්බෙන් වත් දැක්කොතින් නුදුටුව ලෙසින් යන්නම්
දන්න අඳුනන කමටවත් සිනහා නොවී ඉන්නම්
ලස්සනයි ඔබ කී මගේ ඇස් ඔබෙන් සඟවන්නම්
ඉදින් මේ හිතවත්කමට මා මෙයින් සමු දෙන්නම්

Sunday, May 26, 2013

මම ඔබේ නොවී ජිවිතේ තව දුරක් මෙමට යන්න බෑ

මහමෙරක් තරම් ආදරේ
මේ හිතේ දරන් ඉන්න බෑ
ඔය ගලක් වගේ රළු හිතේ
මට ඉඩක් හොයා ගන්න බෑ
මගෙ පැතුම් කන්ද මහ බරයි
ඔබ ඒ ගැන දන්නේ නෑ
දන්නවා නම් මේ වගේ
දුරින් බලන් ඉන්නේ නෑ

ඇස් කතා කලත් කොයි තරම්
ඒ කතා කියා දෙන්න බෑ
මම කොයි තරම් ද ආදරේ
මටත් කියා ගන්න බෑ
මහ ගොඩක් කතා මේ හිතේ
තවත් තියා ගන්න බෑ
මම ඔබේ නොවී ජිවිතේ
තව දුරක් මෙමට යන්න බෑ

තරු හඳට පෙමින් ඉන්න බැව්
සඳුත් ගණන් ගන්නේ නෑ
ළඟ රැඳුනත් ආදරෙන්
ඔයත් මාව දන්නේ නෑ
මේ වැටෙන කඳුළු දැක්කා නම්
තවත් කඳුළු දෙන්නේ නෑ
මගෙ සෙනෙහස දැන ගත්තා නම්
ඔය වගේ දුරින් ඉන්නේ නෑ

පින්සාර පැතුම...

සංසාර සයුර එතෙරට පිහිනා ගෙන යන්න
මං ගාවම ඔබ ඉන්නැති මට සවියක් වන්න
හැමදාමත් මේ වාගෙම ඔබ සෙවණෙම ඉන්න
පින්සාර පැතුම් පුරනෙමි, හැකි වෙද ඉඩ දෙන්න

රන්මැලි සෑයට පුරපස සඳ පෑයුවා වගෙයි
හිත් යායම ඔබ සෙනෙහෙන් හැඩ වී රනින් දිලෙයි
මේ තරමට මා පින්වත් දැයි මටම සැක හිතෙයි
තව ලං වී ඉමු මේ ආදර ලොව ඔබෙයි මගෙයි

පොද වැස්සක් වී අවුදින් සරතැස නිවනා සේ
මද පවනක් සේ වෙළුනා ඔබ මා හිත් අහසේ
ඔබ හින්දා ලද උරුමය මුව නැඟි මදහාසේ
සැනහෙමි දිවිතුරු රැඳිලා ඔබ ලොව්තුරු පහසේ

හිත් යාය දිලෙයි ඔබ ආවම හීනයක් දිගේ

බිම් තඹරු මලක හිනැහෙන පිණි බින්දුවක් වගේ
හිත් යාය දිලෙයි ඔබ ආවම හීනයක් දිගේ
දේදුන්නක් පායනා ලෙසට නිල් අහස් ගඟේ
ඔබ එන්න ඇවිත් ලැගුම් ගන්න හද ඉමේ මගේ

දිගු දෑස කොනේ ලියා තිබුණු රහසක සැඟවී
ඔබ නොකී කතාවක් දුටුවා තිබුණා ලියැවී
මේ හීන කන්ද සැනෙන් මැකී යාදෝ බිය වී
නෙතු තදින් පියා ගමි ඔබ ළඟ ඉන්නට ගුලි වී

සුදු සේද වළාවක නැගිලා ඈතට පාවී
සිත දුරක ගියා මා උන්නා ඔබ හා තනිවී
උණුසුම් සුවයේ මොහොතක් වත් ඉන්නට නොමදී
අසුරු සැනින් ඒ සිහිනය මැකුනා දුක දී

දමා යන්නට බැරිව තවමත් ඔබම පතමින් ඉන්නවා


රිදෙන අහු මුළු සොය සොයා නුඹ 
සිතේ සෙල්ලම් කරනවා 
රිදෙන සිත හංගාන තව මම 
නුඹ නමින් පෙම් පුරනවා 

නැගෙන කඳුලැලි පිහ පිහා මම 
ඔබට සිනහා පුදනවා 
මටම හිනැහී යලි යළිත් නුඹ 
මගේ සිත් මල තලනවා 

නැගෙන හැම කඳුලක්ම ගානේ 
ඔබේ සිනහා දකිනවා 
දමා යන්නට බැරිව තවමත් 
ඔබම පතමින් ඉන්නවා

එදා සඳ ළඟ හිනා වුණු මං හඬමි රහසෙම තනිවෙලා













වෙසක් සඳ ළඟ නිදිවරා 
ඔබේ පෙම සිහිපත් කළා 
හිතම ඉකි බිඳ බිඳ හඬද්දී 
කඳුළු කවියක් ගොනු කළා 

සඳත් අහසේ හිනැහෙනා 
වෙසක් සිරි මැද ඔබෙ වෙලා 
සුරත් බැඳ අපි වෙසක් බැලු'යුරු 
සිහිව දෙකොපුල් තෙත් කළා 

අදත් ඒ සඳ පින් පුරා 
ඇවිත් අහසම එළි කළා 
එදා සඳ ළඟ හිනා වුණු මං 
හඬමි රහසෙම තනිවෙලා 

Wednesday, April 17, 2013

නිදි දෙව්දුවේ


නිදි දෙව්දුවේ ඇවිත් නිදන්න ඇස් පියන් මතේ 
මගෙ නින්ද හොරෙන් ගෙනිහින් ඔහු නින්ද ළඟ නැතේ 
කඳුලෙන් කවි පද සිත්තම් කරනාවූ මගෙ හිතේ 
නින්ද නැතත් මතකය මත අලුත් පද ගෙතේ 

ඉර ඇහැරුනාද එළි වුණාද වගක් වත් නැතේ 
සඳු හිනැහුනාට අඳුර මිසක් එළිය ළඟ නැතේ 
තනිකමට ලඟින් ඉන්නට උණු කඳුළු රැඳි නෙතේ  
ඔබ එන්න දෙව්දුවේ නිදන්න ඔබට ඉඩ ඇතේ 

හීනෙක දැවටී ඔහු ඒ යැයි කියා සිත සිතා 
නෙතු පියා ගතිමි නින්දක් නෙතු අහලකත් නැතා 
නිදි දෙව්දුවේ ඔබේ සියුමැලි පහස පත පතා 
මග බලමි ඉදින් හනි හනිකට වඩිනු මා වෙතා 

Sunday, April 7, 2013

සිර කරුවාගේ අවුරුදු පැතුම




දැන හෝ නොදැන කළ වරදින් පෙර දිනෙක
ගැණ හෝ නොගැණ දින ගෙවුණා කූඩුවක
සිර ගත වුවත් ගත සිර කළ හැකිද සිත
ඉපදී මියෙන සිතුවිලි වල නිමක් නැත

සඳුදා පොහොය දා ඉරිදා නැහැ වෙනසක්
ඉර පායන්නේ අරඹන්නයි නව දවසක්
මේ අඳුරෙන් මිදී ලබනට සැනසීමක්
අච්චුව ගෙවෙන තුරු නැහැ මට ඉවසීමක්

සිංහල අවුරුද්ද ඇත ළඟ එනවාලු
පෙර දා ගමේ කළ සෙල්ලම් සිහි වේලු
පස් වසරක් මටත් අවුරුදු නම් නෑලු
අවුරුදු දකින්නට මෙවරත් පින් මදිලු

අම්මේ, මා නමින් ඔය නෙතඟින් හැලුණ
කඳුලැලි පිසින්නට එන්නට මග බලන
මග වැරදුණු පුතා දකිනා සුබ සිහින
එළි වෙන දිනය ඈතයි වැළපෙමි දුකින

.. දුර යන්න එපා කඳුලක් රඳවා ..


සඳ වගේ දිලී ඔබ හිත් අහසේ
උන්නාට හොරෙන් සෙවනැල්ලක් සේ
සඟවන්න බැරිව පෙම් මදහාසේ
දුක දරා ගනිමි ලොවටම රහසේ
දැවටෙන්න හිතයි පෙර ලෙස දෑසේ ....

පුර පසට දිලුණු සඳුට පෙම් කළා
අව පසට ගියා සිත දුකෙහි හෙළා
ඔබ නමින් හැඬුව මුත් කඳුළු සලා
නොදුටුවා වගේ ගියා නික්මිලා
තව අලුත් කඳුළු නෙතට එක් කළා ....

සඳ මඩල වෙලා ඉන්නට පැතුවා
සඳ සැඟව සිතම අඳුරෙන් වැසුවා
දුර යන්න එපා කඳුලක් රඳවා
මේ හිතට වෙනින් සතුටක් නැතුවා
යළි ඒ ද ම'සිත මුමුණා ඇසුවා ...

දුක දරා ගනිමි සංසාරේ පින් නැතිවාට ...


මට හිනා වෙන්න අලුත් හිනාවක් ගෙන එන්න 
දුක කියා දෙන්න හිත හඬනා හැටි අහ ගන්න 
මට ඔබේ වෙන්න බැරි නම් මොහොතක් ළඟ ඉන්න 
ඔබ ඇවිත් යන්න හීනෙන්වත් මුහුණ සිඹින්න 

මන්දාරමට පෙර අඳුරෙන් අහස බර වුණා 
වැහි බීරමක් හොරෙන් අවුදින් පොළොවට වැටුණා 
සංසාර පැතුම් අකලට වට වැස්සට තෙමුණා 
නෙතු දෑල දිලුන සිහිනය එක මොහොතින් මැකුණා 

කවියක්ව හිතේ ලියැවී ඉන්නට පැතුවාට 
දුක දරා ගනිමි සංසාරේ පින් නැතිවාට 
සුව සදමි නිතින් සතපා ලය මඩලේ යසට 
සිහිනයක් ලෙසින් අවුදින් ළඟ ඉන්නා රෑට 

Tuesday, March 26, 2013

ජනපද කල්‍යාණියගේ අවනඩුව ..



සඳපාන සේ දිලෙන රූ සපුවට පෙම් බැන්ද
රන්දාන මිහිරි සිහිනෙක උදුරා ගෙන නින්ද
කැන්දාන යන තුරා මග බැලු මා හිමි නන්ද
උහුලාන ඉන්නේ කොහොමද මට දුන් දුක් කන්ද

සංසාරයෙම ළඟින් ඉන්නට දෑඟිලි ගැන්නා
රන් පාට සේළ දවටා මග බලාන උන්නා
මන්දාරමට පෙර අහසම අඳුරෙහි රන්දා
සංකා තබා කොහේ ගියෙදෝ මා හිමි සන්දා

දේදුන්න සේ හැඩැති අංජන තැවරූ නයනී
දෙව් දූ ලෙසින් ඔබම වැනු ඒ පියකරු සොබනි
වැළපෙමි හඬමි කඳුලැලි වගුරමි සොවිනි
මා නොවෙද හිමි සඳුනි හිත ගත් ජනපද කළණි

තෙමගුල් සිරිය රන්දා මුළු නුවර පුරා
මග බලමින් සිටියෙ හිමි සඳු වඩින තුරා
සමු ගෙන ගොසින් මා ගෙන් මුළු ලොවට හොරා
කිව මැන කෙසේ හිඳිමි ද මා මෙ'දුක දරා

Saturday, March 16, 2013

යශෝදර සේ සසර සරනට..


නියං සායට අලුත් වැස්සක් සුවය දෙන්නා වගේ
හමා ඇවිදින් ඔබේ සෙනෙහස නිවයි සරතැස මගේ
භවෙන් භවයේ එක්ව යන්නට නොනිමි මේ දිවි මගේ
දන්නවද නුඹ කොතෙක්දැයි මට ඔබේ සෙනෙහස අගේ

කලා වැව් දිය සලා හමනා සුළං රැළි මුමුණනා
ප්‍රේම ගීයකි ඔබේ සෙනහස මගේ හිත සනසනා
හොවා ලය හිස අසා ඉන්නට ස්වරය හද කොඳුරනා
පියා නෙතු යුග රැඳෙමි මොහොතක් කල්පයක් සුව දෙනා

සඳේ සිහිලස වගේ සිහිලයි මෙමට ඔබගේ සෙනේ
සුගායන සෙත් කවක් වාගේ දැහැමි සිතුවිලි ගෙනේ
පෙරත්භවයක ඔබම පතමින් ආවා වාගේ දැනේ
යශෝදර සේ සසර සරනට සිදත් ඔබ වුව මැනේ