Thursday, December 27, 2012

ඈ ..




මළානික කිරණ විහිදන 
නිදා වැටෙන තරු කැට මැද 
අමාවක සඳට පෙම් කළ 
විරාජිනිය මා ....

දුලා නෙතු පුරා කඳුලැලි 
අරා හැඩට සිතුවම් කළ 
නිරාමිස සුවය පැතු මුදු 
සුදේහිණිය මා .....

හොවා ලමැද උණුහුම ලඟ  
සිනා මල් කැකුළු දරමින 
සරාගික නුවන් මත් කළ 
සුපෙම්බරිය මා ...

Saturday, December 22, 2012

සඳු වී දිලෙන්නම් දිනයක ඔබෙ සිත් අහසට


කඳුලක් හෙළා සනසමි සිත දැනෙනා.....තනියට 
සුවඳක් වෙලා එමි ඔබ වෙත මුසුවී.........පවනට 
පැතුමක් පතමි ගුලි වෙන්නට ඔබ ලය....මඩලට  
කුමුදක් සේ පිපෙමි සඳු වී ඔබ එන.........රැයකට 

සිඳු ගී...ගයයි රළ පෙළ පාවී විත්.........වෙරළට 
මදු මී...අමා කුමටද සෙනෙහස මිස........දිවියට
පුද දී....මගේ ලෝකෙම සුහඳේ ඔබ......සුරතට  
සඳු වී...දිලෙන්නම් දිනයක ඔබෙ සිත්...අහසට 

Friday, December 21, 2012

මගේ නොවෙන හින්දා හිත දුකෙන් පිරේවි

හිරුට හොරෙන් පිපෙන සුවඳ කඩුපුලක් වගේ 
ලඟම රැඳෙමි නිබඳ ඔබේ හීනයක් දිගේ 
ලොව නොදන්න පෙමක මිහිර හොවා හද ගැබේ 
රකිමි සදා සඟවාගෙන පපුතුරෙහි මගේ 

කතා කරන ඇස් අභියස මුව ගොළු වේවි 
එක හිනාවකින් දුප්පත් හිත කීරි ගැහේවි 
ළඟ ඉන්න වරම් නැති හින්දා සිත වැළපේවී 
මගේ නොවෙන හින්දා හිත දුකෙන් පිරේවි

ඔබ නැතිව මියෙනු මිස ජිවත් වීමෙන් පල නෑ

සඳු අමාවකට දුක දී දුර ඈතක ඇදුනා 
තනි වූ තරුවට විසල් අහසෙ තනිකම දැනුනා 
නෙත් කෙවෙනි පුරා උණු කඳුලක සිතුවම් ඇඳුනා 
ළඟ නොමැති සොවින් හොර රහසෙම මට ඉකි බිඳුනා 

මගෙ මතක පුරා මා නොදැනිම ඔබ සැරි සැරුවා 
සිත් අහස වසා සුපුරුදු සුවඳක් තනි මැකුවා 
ඔබ ඒය සිතා දෙනුවන් එන පෙර මග බැලුවා 
නොම ආව නිසා රහසින් මා කඳුළැලි සැලුවා 

සඳ නැතිනම් තරු දිලුණත් අහසට සිරියක් නෑ
ඔබ දුර නම් තනි හිතට දුකක් මිස සතුටක් නෑ
කඳුලක් මිස නෙතට සොඳුරු 
සිනා  උරුම නෑ 
ඔබ නැතිව මියෙනු මිස ජිවත් වීමෙන් පල නෑ

හිමි අහිමි

සඳ කිඳුරු කවේ සඳ කිඳුරිය වී 
ඉපදෙන්න පතන් මියැදෙන්න හිතයි 
ඔබ නමින් හදේ රැඳි සෙනේ අරුම 
සඳ කිඳුරිය වී පෙන්නන හිතයි 

සඳ වගේ දුරින් හිඳ ලොවට හොරෙන් 
ඔබ දිහා බලා ගෙන ඉන්න හිතයි 
සඳ අහිමි දුකෙන් ඉනු උණු කඳුළින් 
පිරි දෙනෙත ඔබට පෙන්වන්න දුකයි

කවුද හොරෙන් හීනෙන් විත් ළඟ දැවටෙනවා ..

හෙන්දිරික්කා මල් සුවඳක් 
වගේ සිත් ඉමේ වෙලෙමින් 
කවුද හොරෙන් හීනෙන් විත් 
ළඟ දැවටෙනවා ..
ගීතයක් වගේ සවණත 
රහස් කියනවා ....

මේඝයක් වගේ අවුදින් 
පාලු හිතට තනි රකිමින් 
කවුද හොරෙන් හිත ළඟ හිඳ 
තනිය මකනවා ...
ආදරේ සොඳුරු කවියක
පද අමුණනවා .....

රෑ පුරා සිතෙහි ඇවිදින
නෙත් ඉමේ රුවම ගවසන
සිත් විලේ රඟනු කීම නුඹ
ම'සිත අසනවා ....
පිළිතුරක් නොදී පෙර ලෙස
ඔබ හිනැහෙනවා ....

Wednesday, November 21, 2012

.. සිනහව ..



වියලුනු කතරකට වැටෙනා පොද වැස්සක් 
පුබුදයි නැවුම් පොළොවේ මල් දස දහසක් 
ඉඳ හිට වුවද පිපෙනා මුව මදහාසක් 
සැනසුම් සුවය අතුරයි මත සිත් අහසක්

හිරුගේ රැසින් මුළු ලෝකය එකළු වෙතේ 
සඳුගේ බෙලෙන් ඝන කළුවර පහව යතේ 
සුන්දර සිනාවක් රැඳවූ සොඳුරු වතේ 
ලස්සන ලොවේ පිපෙනා කිසි මලෙක නැතේ

ඔබ උන්නා නම් මගේ ලෝකය වේවිය එකළු


දුර ඈත අහසේ හිනැහෙන සඳ රහසින් තෙපලු 
ඒ රහස ඔබයි ඔබ ආවම හීනෙම හැඩලු 
හීනයෙන් නොවෙයි හැබැහින් විත් වෙන්නට තුරුළු 
දින ගණිමි මෙමං එනමුත් ඔබ මට බෝ දුරලු 

ඔබ සිහි වෙන හැම මොහොතෙම නෙත හිනැහෙයි කඳුළු 
මතකයි යුර ඔබ ඇඟිලි තුඩින් කඳුළැලි  පිසලු 
මග බලමි නිතින් අතුරන්නට මුව මත මුකුළු 
ඔබ උන්නා නම් මගේ ලෝකය වේවිය එකළු 

ඔබ ඉන්න මතකය වෙලා..


රෑ අහසේ තරුවක් වෙලා 
මහා සයුරෙ රැල්ලක් වෙලා 
බඹරෙකුට කුසුමක් වෙලා 
ඔබ ඉන්න මතකය වෙලා
තරු ඉකි බිඳින රෑ සීතලේ 
ඔබ ආවාම මතකය දිගේ 
දිය කළඹාලා නිල් නෙත් විලේ 
ගිලිහේවි කඳුලක් වගේ
පෙම් ගී ගයන මහ සමුදුරේ 
රැළි සේ ඔබ හිඳී මතකයේ 
හිස සතපන්න ඔය පපුතුරේ 
එනු මා වෙතට නිල් නයනියේ ..

සඳවතී..

සිත ගාව තනිකම ලියා 
නෙතු ගාව කඳුලක් තියා 
මා ගාවින්ම ඉන්නම් කියා 
ආවාටත් කලින් ඈ ගියා ...

මුදු සඳ මඩල අහසෙන් එබී 
ඔබෙ පිළිරූ මගේ සිත අඳී 
තරු ඇස් ගාව සිහිලස දැනී 
කඳුලින් නෙතඟ සිතුවම් අඳී 
සිත රිදවුයේ ඇයි සඳවතී ....

ඔබේ මුදු සුවඳ සුලඟක වෙලි 
අවුදින් මතක පොත දිග හරි 
සිත පාරාවී කඳුලක් එබී 
නොහැකිද එන්න ආපහු හැරී 
සිත ඔබගෙයි තවත් කුමුදුනි ...


Monday, November 5, 2012

...උදුම්බරා...




අටේ කැලෑසියේ උන්න 
හැඩකාරම කෙල්ල වෙච්ච 
මගෙ පස්සෙන් ආපු කොල්ලෝ 
තඹයට මායිම් නොවිච්ච 
ඒ වුනාට නුඹ දැක්කම 
හිත එක තැන ගල් ගැහිච්ච 
හින්දම නුඹ හා රෑකදී 
හොර රහසේ වහං වෙච්ච 
උදුම්බරා මං....

පෝලිමේ දරුවන් වදාපු 
නිරන්තරේ ගුටිත් කාපු 
හැම රෑකම කඳුළු බීපු 
නමුත් නුඹට සෙනෙහෙ පාපු 
උදුම්බරා මං .. 

පොලිසියට බොරු කිය කිය
සඟවා ගෙන නුඹව රැකපු  
හිර ගෙදරට බත් ගෙන ගිය
දුක් ගින්දර තනිව දරපු 
ඇප තියලා එළියට ගෙන 
යළිත් නුඹෙන් ගුටිම කාපු 
මැරුණත් නුඹ ලඟම ඉන්න
හැමදාමත් පෙරුම් පුරපු 
උදුම්බරා මං ....

කූඩුවක සිට ලියමි ...




යකඩ කූරු මැද්දෙන් මට නුඹගේ රූපය පෙනෙද්දී
මතකය අතරින් මැවෙනවා නුඹේ ලස්සන හිනා වෙද්දී
මට පේන්න හිනා වෙලා හොරෙන් කඳුළු පිහිද ගත්දී 
මගේ හිතත් ඉකි බිඳිනවා අම්මේ නුඹ කඳුළු බොද්දී

පොලොස් ඇඹුලේ රස මැවුනා කල්දේරම් බත් දකිද්දී
පැදුරේ උණුහුම දැනුනා සිමෙන්තියේ නිදා ගද්දි 
හීනෙන් නුඹ ළඟ ඉඳගෙන මා නෙත කඳුළැල් පිහිද්දී
එන්නට හිතුනා දිවගෙන නුඹේ සෙනෙහස මතක් වෙද්දී 

උසාවියේ බැංකුවේ හිඳ නුඹ බල බල හුල්ලද්දී
මට මා ගැන දුක හිතුනා කරපු වැරදි මතක් වෙද්දී 
හොඳ මිනිහෙක් වෙන්නම් මා හිර ගෙයි දඬුවම ගෙවෙද්දී 
ආදරයෙන් හිස සිඹපන්  අම්මේ මම නැවත එද්දී ....

Saturday, November 3, 2012

අතීතයේ සුවඳ පොද අරන් එයි වැහි බින්දු ...

පොද වැස්ස වැටෙන කල 
මුමුණමින් පෙර වගේ 
මතකයට එබෙනවා 
උන්නු හැටි ළඟ මගේ 
අද තනිව ඇවිදිද්දී 
එදා අප ගිය මඟේ
කඳුළු බිඳු ගලනවා 
හිමින් දෙකොපුල් දිගේ ...

එක කුඩේ යටට වී 
පෙර දාක අප උන්නු 
මතකයක ගුලි වෙමි 
එදා ඔබ මට දුන්නු 
නිල් නුවන් අග්ගිස්සේ 
කඳුළු බිඳුවක් රැන්දු
අතීතයේ සුවඳ පොද
අරන් එයි වැහි බින්දු ...

මතක මාවත දිගේ 
අදත් ඇවිදන් යමි 
ඔබ එදා කී කතා 
යළිත් සිහි කර ගමි 
ඔබ නැතිව දැනෙන දුක 
තනිව උහුලා ඉමි 
පොද වැස්සේ තෙමෙන්නට 
ඔබ එතැයි ඉවසමි ....