උකුලෙ විඳි සුව පෙරදී දිනයක
මතක් වෙනවා මැවි මැවී
කිරට හැරි ඔබ රුහිරු බිඳුවෙන්
මගේ ජීවය පණ ලැබී
එඩිය ඔබ දුන් ගතෙහි ඇට මස්
නහර ඔස්සේ යයි ඇදී
එදා වාගෙම අදත් රැව් දෙයි
ඔබේ මිහිරැති නැළවිලි
ඇඟිලි තුඩගින් ම'හිස පිරි මැද
කොපුල් තල සිඹ සනසලා
පුතුනි, දිනයක රජෙකු වියන්
කීය සිනහා තවරලා
වැටෙන විට ළඟ රැඳුනි නිරතුරු
මහ මෙරක සවියක් වෙලා
ඔබයි පුන් සඳ දිලෙන අඹරෙහි
එකළු කරමින් කළු වළා
පහන් තරුවක් ලෙසින් දිලිහි
මග නොමග පෙන්වා දුනි
නෙතින් දහසක් වදන් තෙපලා
උන්නු ගොළු වූ මුවඟිනි
යොදුන් ගණනක් දුර ගෙවා ගෙන
ඇවිත් දැවටී සෙනෙහෙනි
නමා මා හිස ඔබේ පාමුල
වඳිමි සැමදා බැතියෙනි
No comments:
Post a Comment