Wednesday, December 4, 2013

මගේ තාත්තා ....

දැල් ගහපු බස් එකෙන්
මාසෙකට වතාවක්
මා බලන්නට එන
අපේ තාත්තා ..

යකඩ කූරු මැද්දෙන්
මා දිහා බලා ගෙන
කඳුළු කැට පිහිදනා
මගේ තාත්තා ...

විලංගු ලු අත් වලින්
මගේ හිස අත ගගා
රජෙක් වීයන් කියන
මගේ තාත්තා ...

අපේ ගෙදරට නොඑන
එතැයි මා මග බලන
හිර ගෙදර දුක් විඳින
මගේ තාත්තා ....


පුංචි එකී මං ...

සුදු කොට රැළි ගවුම ඇඳලා
කොණ්ඩ කරල් දෙකක් ගොතලා
දෙවැට දිගේ අකුරට ගිය
පුංචි එකී මං ...

අරලිය ගය උඩට නැගලා
පොකුරු පොකුරු මලුත් නෙලලා
උදාසනම පාසල් ගිය
පුංචි එකී මං ...

සමනලුන්ට රහස් කියලා
බත් කූරන් නූල් බැඳලා
ලන්ද දිගේ දං කඩාපු
පුංචි එකී මං ....

කොලු රෑනේ මැදට පැනලා
වෙල් එළියේ එල්ලේ ගහලා
තාත්තට හොරෙන් ගෙට ගිය
පුංචි එකී මං ......

ශිෂ්‍යත්වය හොඳට ලියලා
මහා ඉහළින් ලකුණු ලබලා
ගමෙන් සිදාදියට ආව
පුංචි එකී මං ....

සමනල් හිත ගමේ තියලා
සිදාදියේ අකුරු කරලා
ගමේ යන්න පාර හොයන
ගමේ එකී මං ...

එන්න හිතේ ලැඟුම් ගන්න සිහිනයෙන් මිදී...

හෙමින් ඇවිත් ලැගුම් ගන්න ඔබේ හිත මතින්
කලක් බලන් හිටියා දුක දරා ගෙන සිතින්
අකල් වැස්ස ලෙස හිත වෙත ඇද වැටි සැණින්
අලුත් පෙම් කවක් මුමුණන් නම් ද දැන් ඉතින් ..

දුරක් යන්න අත අල්ලා ගන්ට සිතෙනවා
කොතෙක් දුක දරන්ට වෙද මසිත අහනවා
දහක් කතා ඔය ඇස් යට රහස් කියනවා
පෙමක් එපා තනිකඩ හිත මට මුමුණනවා

අහංකාර එක බැල්මක හිසරය වැදී
මගේ හිතත් දැන්නම් ඇත හොඳටෝම රිදී
කෝලිත්තම් කතා එපා හිතට දුක නොදී
එන්න හිතේ ලැඟුම් ගන්න සිහිනයෙන් මිදී .....