Wednesday, April 17, 2013

නිදි දෙව්දුවේ


නිදි දෙව්දුවේ ඇවිත් නිදන්න ඇස් පියන් මතේ 
මගෙ නින්ද හොරෙන් ගෙනිහින් ඔහු නින්ද ළඟ නැතේ 
කඳුලෙන් කවි පද සිත්තම් කරනාවූ මගෙ හිතේ 
නින්ද නැතත් මතකය මත අලුත් පද ගෙතේ 

ඉර ඇහැරුනාද එළි වුණාද වගක් වත් නැතේ 
සඳු හිනැහුනාට අඳුර මිසක් එළිය ළඟ නැතේ 
තනිකමට ලඟින් ඉන්නට උණු කඳුළු රැඳි නෙතේ  
ඔබ එන්න දෙව්දුවේ නිදන්න ඔබට ඉඩ ඇතේ 

හීනෙක දැවටී ඔහු ඒ යැයි කියා සිත සිතා 
නෙතු පියා ගතිමි නින්දක් නෙතු අහලකත් නැතා 
නිදි දෙව්දුවේ ඔබේ සියුමැලි පහස පත පතා 
මග බලමි ඉදින් හනි හනිකට වඩිනු මා වෙතා 

Sunday, April 7, 2013

සිර කරුවාගේ අවුරුදු පැතුම




දැන හෝ නොදැන කළ වරදින් පෙර දිනෙක
ගැණ හෝ නොගැණ දින ගෙවුණා කූඩුවක
සිර ගත වුවත් ගත සිර කළ හැකිද සිත
ඉපදී මියෙන සිතුවිලි වල නිමක් නැත

සඳුදා පොහොය දා ඉරිදා නැහැ වෙනසක්
ඉර පායන්නේ අරඹන්නයි නව දවසක්
මේ අඳුරෙන් මිදී ලබනට සැනසීමක්
අච්චුව ගෙවෙන තුරු නැහැ මට ඉවසීමක්

සිංහල අවුරුද්ද ඇත ළඟ එනවාලු
පෙර දා ගමේ කළ සෙල්ලම් සිහි වේලු
පස් වසරක් මටත් අවුරුදු නම් නෑලු
අවුරුදු දකින්නට මෙවරත් පින් මදිලු

අම්මේ, මා නමින් ඔය නෙතඟින් හැලුණ
කඳුලැලි පිසින්නට එන්නට මග බලන
මග වැරදුණු පුතා දකිනා සුබ සිහින
එළි වෙන දිනය ඈතයි වැළපෙමි දුකින

.. දුර යන්න එපා කඳුලක් රඳවා ..


සඳ වගේ දිලී ඔබ හිත් අහසේ
උන්නාට හොරෙන් සෙවනැල්ලක් සේ
සඟවන්න බැරිව පෙම් මදහාසේ
දුක දරා ගනිමි ලොවටම රහසේ
දැවටෙන්න හිතයි පෙර ලෙස දෑසේ ....

පුර පසට දිලුණු සඳුට පෙම් කළා
අව පසට ගියා සිත දුකෙහි හෙළා
ඔබ නමින් හැඬුව මුත් කඳුළු සලා
නොදුටුවා වගේ ගියා නික්මිලා
තව අලුත් කඳුළු නෙතට එක් කළා ....

සඳ මඩල වෙලා ඉන්නට පැතුවා
සඳ සැඟව සිතම අඳුරෙන් වැසුවා
දුර යන්න එපා කඳුලක් රඳවා
මේ හිතට වෙනින් සතුටක් නැතුවා
යළි ඒ ද ම'සිත මුමුණා ඇසුවා ...

දුක දරා ගනිමි සංසාරේ පින් නැතිවාට ...


මට හිනා වෙන්න අලුත් හිනාවක් ගෙන එන්න 
දුක කියා දෙන්න හිත හඬනා හැටි අහ ගන්න 
මට ඔබේ වෙන්න බැරි නම් මොහොතක් ළඟ ඉන්න 
ඔබ ඇවිත් යන්න හීනෙන්වත් මුහුණ සිඹින්න 

මන්දාරමට පෙර අඳුරෙන් අහස බර වුණා 
වැහි බීරමක් හොරෙන් අවුදින් පොළොවට වැටුණා 
සංසාර පැතුම් අකලට වට වැස්සට තෙමුණා 
නෙතු දෑල දිලුන සිහිනය එක මොහොතින් මැකුණා 

කවියක්ව හිතේ ලියැවී ඉන්නට පැතුවාට 
දුක දරා ගනිමි සංසාරේ පින් නැතිවාට 
සුව සදමි නිතින් සතපා ලය මඩලේ යසට 
සිහිනයක් ලෙසින් අවුදින් ළඟ ඉන්නා රෑට