Friday, May 31, 2013

දුරින්ම ඉන්නම් එතකොට පුළුවන් හොඳින් බලා ගන්න ...

ආල හිනා ළඟ කෝල වෙලා මං බයෙන් බලන් උන්නා
දෑස පුරා රස රහස් ලියා නුඹ අලුත් හිනා දුන්නා
පාන හිනාවෙන් පාර කියා නුඹ අනන්තයක් මැව්වා
පාර දුරයි මට යන්න බයයි මං දෑස් පියන් වැහුවා

හිත හිරිවට්ටන ඔය ඇස් මානෙන් වහං වෙලා යන්න
දුකක් දැනෙනවා හිතෙන් අදිනවා ඔබේ ලඟින් ඉන්න
දාහක් ඇස් අප දිහා බලන් ඇති අපටත් නොදැනෙන්න
දුරින්ම ඉන්නම් එතකොට පුළුවන් හොඳින් බලා ගන්න

නාදුනන නුඹට ...

මගේ ඇස් ගැන මටත් වැඩියෙන් නුඹ කොහොම දන්නේ
හිනාවක් හිතවත් කමක් මිස කිසිත් නෑ දුන්නේ
ගමේ මා ගැන කතා හැදුනොත් කෝම ඉවසන්නේ
ළඟට නෑවිත් දුරින් උන්නොත් නෑ දොසක් වෙන්නේ

දිනක් දෙකකට වැඩිය මා නෑ තවම නුඹ දැකලා
එකක් දෙහෙකට වැඩිය වදනුත් නැතේ මා දොඩලා
නුඹ මගේයැයි කිසිම මොහොතක නැතේ මට දැනිලා
ඉතින් කෝමද නුඹේ වෙන්නේ නුඹට හිත පුදලා

අහම්බෙන් වත් දැක්කොතින් නුදුටුව ලෙසින් යන්නම්
දන්න අඳුනන කමටවත් සිනහා නොවී ඉන්නම්
ලස්සනයි ඔබ කී මගේ ඇස් ඔබෙන් සඟවන්නම්
ඉදින් මේ හිතවත්කමට මා මෙයින් සමු දෙන්නම්

Sunday, May 26, 2013

මම ඔබේ නොවී ජිවිතේ තව දුරක් මෙමට යන්න බෑ

මහමෙරක් තරම් ආදරේ
මේ හිතේ දරන් ඉන්න බෑ
ඔය ගලක් වගේ රළු හිතේ
මට ඉඩක් හොයා ගන්න බෑ
මගෙ පැතුම් කන්ද මහ බරයි
ඔබ ඒ ගැන දන්නේ නෑ
දන්නවා නම් මේ වගේ
දුරින් බලන් ඉන්නේ නෑ

ඇස් කතා කලත් කොයි තරම්
ඒ කතා කියා දෙන්න බෑ
මම කොයි තරම් ද ආදරේ
මටත් කියා ගන්න බෑ
මහ ගොඩක් කතා මේ හිතේ
තවත් තියා ගන්න බෑ
මම ඔබේ නොවී ජිවිතේ
තව දුරක් මෙමට යන්න බෑ

තරු හඳට පෙමින් ඉන්න බැව්
සඳුත් ගණන් ගන්නේ නෑ
ළඟ රැඳුනත් ආදරෙන්
ඔයත් මාව දන්නේ නෑ
මේ වැටෙන කඳුළු දැක්කා නම්
තවත් කඳුළු දෙන්නේ නෑ
මගෙ සෙනෙහස දැන ගත්තා නම්
ඔය වගේ දුරින් ඉන්නේ නෑ

පින්සාර පැතුම...

සංසාර සයුර එතෙරට පිහිනා ගෙන යන්න
මං ගාවම ඔබ ඉන්නැති මට සවියක් වන්න
හැමදාමත් මේ වාගෙම ඔබ සෙවණෙම ඉන්න
පින්සාර පැතුම් පුරනෙමි, හැකි වෙද ඉඩ දෙන්න

රන්මැලි සෑයට පුරපස සඳ පෑයුවා වගෙයි
හිත් යායම ඔබ සෙනෙහෙන් හැඩ වී රනින් දිලෙයි
මේ තරමට මා පින්වත් දැයි මටම සැක හිතෙයි
තව ලං වී ඉමු මේ ආදර ලොව ඔබෙයි මගෙයි

පොද වැස්සක් වී අවුදින් සරතැස නිවනා සේ
මද පවනක් සේ වෙළුනා ඔබ මා හිත් අහසේ
ඔබ හින්දා ලද උරුමය මුව නැඟි මදහාසේ
සැනහෙමි දිවිතුරු රැඳිලා ඔබ ලොව්තුරු පහසේ

හිත් යාය දිලෙයි ඔබ ආවම හීනයක් දිගේ

බිම් තඹරු මලක හිනැහෙන පිණි බින්දුවක් වගේ
හිත් යාය දිලෙයි ඔබ ආවම හීනයක් දිගේ
දේදුන්නක් පායනා ලෙසට නිල් අහස් ගඟේ
ඔබ එන්න ඇවිත් ලැගුම් ගන්න හද ඉමේ මගේ

දිගු දෑස කොනේ ලියා තිබුණු රහසක සැඟවී
ඔබ නොකී කතාවක් දුටුවා තිබුණා ලියැවී
මේ හීන කන්ද සැනෙන් මැකී යාදෝ බිය වී
නෙතු තදින් පියා ගමි ඔබ ළඟ ඉන්නට ගුලි වී

සුදු සේද වළාවක නැගිලා ඈතට පාවී
සිත දුරක ගියා මා උන්නා ඔබ හා තනිවී
උණුසුම් සුවයේ මොහොතක් වත් ඉන්නට නොමදී
අසුරු සැනින් ඒ සිහිනය මැකුනා දුක දී

දමා යන්නට බැරිව තවමත් ඔබම පතමින් ඉන්නවා


රිදෙන අහු මුළු සොය සොයා නුඹ 
සිතේ සෙල්ලම් කරනවා 
රිදෙන සිත හංගාන තව මම 
නුඹ නමින් පෙම් පුරනවා 

නැගෙන කඳුලැලි පිහ පිහා මම 
ඔබට සිනහා පුදනවා 
මටම හිනැහී යලි යළිත් නුඹ 
මගේ සිත් මල තලනවා 

නැගෙන හැම කඳුලක්ම ගානේ 
ඔබේ සිනහා දකිනවා 
දමා යන්නට බැරිව තවමත් 
ඔබම පතමින් ඉන්නවා

එදා සඳ ළඟ හිනා වුණු මං හඬමි රහසෙම තනිවෙලා













වෙසක් සඳ ළඟ නිදිවරා 
ඔබේ පෙම සිහිපත් කළා 
හිතම ඉකි බිඳ බිඳ හඬද්දී 
කඳුළු කවියක් ගොනු කළා 

සඳත් අහසේ හිනැහෙනා 
වෙසක් සිරි මැද ඔබෙ වෙලා 
සුරත් බැඳ අපි වෙසක් බැලු'යුරු 
සිහිව දෙකොපුල් තෙත් කළා 

අදත් ඒ සඳ පින් පුරා 
ඇවිත් අහසම එළි කළා 
එදා සඳ ළඟ හිනා වුණු මං 
හඬමි රහසෙම තනිවෙලා