Tuesday, March 26, 2013
ජනපද කල්‍යාණියගේ අවනඩුව ..
සඳපාන සේ දිලෙන රූ සපුවට පෙම් බැන්ද
රන්දාන මිහිරි සිහිනෙක උදුරා ගෙන නින්ද
කැන්දාන යන තුරා මග බැලු මා හිමි නන්ද
උහුලාන ඉන්නේ කොහොමද මට දුන් දුක් කන්ද
සංසාරයෙම ළඟින් ඉන්නට දෑඟිලි ගැන්නා
රන් පාට සේළ දවටා මග බලාන උන්නා
මන්දාරමට පෙර අහසම අඳුරෙහි රන්දා
සංකා තබා කොහේ ගියෙදෝ මා හිමි සන්දා
දේදුන්න සේ හැඩැති අංජන තැවරූ නයනී
දෙව් දූ ලෙසින් ඔබම වැනු ඒ පියකරු සොබනි
වැළපෙමි හඬමි කඳුලැලි වගුරමි සොවිනි
මා නොවෙද හිමි සඳුනි හිත ගත් ජනපද කළණි
තෙමගුල් සිරිය රන්දා මුළු නුවර පුරා
මග බලමින් සිටියෙ හිමි සඳු වඩින තුරා
සමු ගෙන ගොසින් මා ගෙන් මුළු ලොවට හොරා
කිව මැන කෙසේ හිඳිමි ද මා මෙ'දුක දරා
Saturday, March 16, 2013
යශෝදර සේ සසර සරනට..
නියං සායට අලුත් වැස්සක් සුවය දෙන්නා වගේ
හමා ඇවිදින් ඔබේ සෙනෙහස නිවයි සරතැස මගේ
භවෙන් භවයේ එක්ව යන්නට නොනිමි මේ දිවි මගේ
දන්නවද නුඹ කොතෙක්දැයි මට ඔබේ සෙනෙහස අගේ
කලා වැව් දිය සලා හමනා සුළං රැළි මුමුණනා
ප්‍රේම ගීයකි ඔබේ සෙනහස මගේ හිත සනසනා
හොවා ලය හිස අසා ඉන්නට ස්වරය හද කොඳුරනා
පියා නෙතු යුග රැඳෙමි මොහොතක් කල්පයක් සුව දෙනා
සඳේ සිහිලස වගේ සිහිලයි මෙමට ඔබගේ සෙනේ
සුගායන සෙත් කවක් වාගේ දැහැමි සිතුවිලි ගෙනේ
පෙරත්භවයක ඔබම පතමින් ආවා වාගේ දැනේ
යශෝදර සේ සසර සරනට සිදත් ඔබ වුව මැනේ
Friday, March 15, 2013
නුඹ දුරක ඇදුනා ...
මහ හීන හුඟක් හිත මතට ගෙනත්
ඇයි දුරින් බලන් උන්නේ
නෙතු දෑල පුරා ඔය රුවම මවා ඇති
බැව් නැතුවද දන්නේ
ආදරෙන් හිනාවෙන ඇස් මත මොනවද
හොරෙන් ලියා යන්නේ
ඔය හිතේ ඉඩක් ගෙන ඔබෙම වෙලා
හිනැහෙන්න බලා ඉන්නේ
කතා කියන ඔය ඇස් දෙක අස්සේ
ගොඩක් කතා ලියලා
දුරින් බලා ගෙන සිනා සලන විට
එන්න හිතයි දුවලා
සියුම් ඇඟිලි තුඩු දරාන දෝතින්
සුමුදුව පිරි මැදලා
සපථ කරන්නම් භාවෙන් භවේ ඔබ
මගෙම වෙන්න කියලා
හීන් හිනා මුව මඩල පුරෝගෙන
බලා හිඳිනු පෙනුනා
ආත්මයෙම ඔබ මා සමගින් දුර
එන්න ඇතැයි දැනුනා
වාන් දමන පෙම් සිතුවිලි ගඟුලේ
තෙමෙන්න මට හිතුනා
හාංකවිසියක් නොදන්න ගානට
නුඹම දුරක ඇදුනා
Friday, March 8, 2013
කාන්තා දිනය ???
මං
මවක්
සුළඟක් වගේ
ආදරේ බෙදන ..
මං
බිරිඳක්
මහ මෙරක්
දුක් උහුලන ....
සොයුරියක්
සයුර තරම්
සෙනෙහස දරන ...
මං
දියණියක්
හිමිදිරිය සේ
සිනහා සලන ...
ඇයි
එක දිනක්
පමණක්ම
මා ගැන
මුළු ලොවම
කතිකා කරන ... ??
Monday, March 4, 2013
මං තාම බලා ඉන්නා බව ඔහුට කිව මැනේ
ගං දෑල පිපී හිනැහෙන සුදු
කෙකටිය .............යායේ
රැව්දේවි වදන් මා ගයනා
දුක්බර .....................ගීයේ
ලංවිලා ඉඳන් පෙම් බස්
දෙඩුවත් අප ...............ඊයේ
වෙන්වීලා මගෙන් දුර ගොස්
නුඹ එන්නෑ ........ආයේ
ඔය ඇස් අද්දර හිඳගෙන මගෙ
ලෝකය .......මැව්වා
මගෙ මතක ඉමේ හැමදාමත් ඔබෙ
නම .........ලිව්වා
මද සුළඟ ඇවිත් ගං දිය මත
පෙම් කවි ..........කිව්වා
නෙතු කඳුළු පිරී මොහොතින්
හිරු සඳු තරු ...නිව්වා
දං පඳුරු පුරා කිචි බිචි
ගානා .................කුරුල්ලනේ
ගං දෑල අතැර කොයිබටදෝ
නුඹත් ...........ඉගිලුනේ
රුං ගාලා ඇවිත් මේ දුක්
කවි රැගෙන යනු. ......අනේ
මං තාම බලා ඉන්නා බව ඔහුට
කිව ..............මැනේ
නගර සභා කම්කරුවා (නො) කී කව
මේ
මල් ගහට
දුක නැද්ද මන්දා ..
වරුවක් පුරා මං
විදියේ කොනක සිට
ඇමදුවා ..
ආයෙමත්
මල් අහුරු බිම හලා
ඉන්න හැටි
නොදන්නවා වාගෙ මට
හිනැහිලා ...
ගහට මල්
බර නෑලු
කවුරුන්ද කියනවා
ඇත අසා. ..
නමුත් මේ
ගහේ මල්
වැඩි හින්දා දෝ
කොහෙද
හිනා වෙයි
ගහෙන් මල්
බිම හළා ...
ඔබ නමින් සොඳුරු පෙම් සිහිනයෙම තනි වෙමි
සිහිනයක් වී ඇවිත් දෙනෙත් මත සැතපිලා
සෙනෙහසක් තවරමින් පෙමක් කවිකම් කළා
අරමුණක් නැතිව ඒ ලීව කවි කියවලා
හැඟීමක් නැති ලෙසට හිඳිමි පෙම සඟවලා
සැනහෙන්න හිතුනාට උරහිසේ හිස තියා
ඉවසාන හිඳින්නම් කඳුළකින් දුක කියා
ආදරේ දැනුනාට දෙනෙත් මත ඇති ලියා
සිල් බිඳිනු බැරි නිසා හිඳිමු අපි දුර නොයා
තුරු හිසක මලක් වී පිපෙන්නට පැතුවෙමි
ගඟක රැළි සේ ලොවට රහසේම ඉකිලමි
ආදරේ දෝරේ යන ඔය නෙතින් සැඟවෙමි
ඔබ නමින් සොඳුරු පෙම් සිහිනයෙම තනි වෙමි
සමු ගමි කඳුලින් දෑසේ...
සුදු සඳ ඇවිදින් ගං දිය මත අඳිමින් සිත්තම්
ඔබ ගැන මතකය මා සිත තුළ කරවයි ගෙත්තම්
ඔය සිත් අහසට අලුත් සඳක් පායා නැත්නම්
පෙරදා වාගෙම ඔබ ගාවින් ඉන්නට ඇත්නම්
මා ගාවම ඔබ ඉන්නවා වාගෙයි මට දැනුනා
රහසින් කන් පෙති අද්දර මුමුණනු ඇසුනා
සිත පාරවමින් සුසුමක් හද පතුලෙන් නැගුණා
නෙතු දෑලට දුක දී කඳුලක් ගිලිහී වැටුණා
උණුසුම විඳින්න හිස තියාන ඔබ ලය මඩලේ
පින නොමැති සොවින් සිහිලස දරනෙමි ඉනු කඳුලේ
බැඳි පෙම සඟවා ඉන්නම් මේ ලෙස ලය මඩලේ
මගෙ දුක් සුසුමෙන් මහා මේරුවක් වුව සසැලේ
එක තරුවක් නොව දහසක් තරු නිවුනත් රහසේ
දුක නෑ දැනෙන්නේ අලුතෙන් තරු හිනැහෙයි අහසේ
නෙක පාට පාට හීනෙක දැනෙනා මුදු පහසේ
හැමදාම ඉන්න බෑ සමු ගමි කඳුලින් දෑසේ
Subscribe to:
Posts (Atom)