Wednesday, October 31, 2012

වරම් නොමැත ලං වන්නට


රෑ අහසට අලුත් සඳක් ආවා වාගෙයි 
සිත් මඩලට ඔබ අවුදින් තුන් සිත එළියයි 
දෙනෙත් පියා සිහිනයකම වෙළෙන්න ආසයි 
මල් සුවඳක් ලෙසින් හොරෙන් සිත මත දැවටෙයි 

හිතේ ගෙතන නොලී කවක පද වැලක් වගේ 
සිත්තම් කරමින් ඔය රුව සිහිනයක් දිගේ 
හොර රහසෙන් එබිකම් කර සිත වෙතට මගේ 
කොහෙ සැඟවුණි දැයි කිව මැන හද සිතුම් ගඟේ 

නපුරු වළාවක පුර හඳ ගිලින්නට කලින් 
සිහිනෙක සැඟ වී හෝ ඔබ ඉන්න මා ලඟින් 
සිනා කැළුම් දැක ගන්නම් ඉදන් බෝ දුරින්
වරම් නොමැත ලං වන්නට දුක දරමි නිතින් .... 

මගේ හිත ඇත ඔබ නමින් ...


සීත මිදුම විලස අවුදින් තුන් සිතම සිහිලෙන් තෙමන් 
ඈත පාවෙන පැතුම් අහුරක් කොහෙන්දෝ රහසින් අරන් 
හීන කන්දම ඇසුරු සැනකින් දෑස අභියස බොඳ කරන් 
ගීතයක් සේ ඇවිත් දිවියට නොසිතු මොහොතක ඔබ ගිහින් 

දෑස අග මුතු කඳුළු නළියයි දරනු බෑ දුක මේ තරන්
පාට කරනෙමි හීන තවමත් ඔබ නැතත් අද මා ලඟින් 
කාත් කවුරුත් නැතිව තනියට තනිකමට තව ලං වෙමින් 
රෑට තවමත් තරු ගණින්නම් පෙර පුරුද්දට බෝ දුකෙන් 

තාරකාවක දුක ලියන්නම් සෑම රැයකම කඳුළකින් 
රෑහි හඬ හා මුසුව ඒවි හද පෙලන දුක සුසුමකින් 
භාර ගන්නට තාම පුළුවන් පෙරදී වාගෙම සෙනෙහසින් 
පාර මතකද නැවත එන්නට මගේ හිත ඇත ඔබ නමින් 

තනිව හඬන කවි හිත


හැමදාම මං දකින හීනෙට
ඇවිත් නුඹ මා ලඟම හිටියා
එන්නේ කිමදැයි අසනු බැරි වී 
මගෙ බොළඳ හිත
තනිව තැවුනා...

හැමදාම මං ලියන කවියක
සැඟවිලා නුඹ සිතට එබුනා
ඉන්නේ කිමදැයි අසනු බැරි වී
මගේ කවි හිත
තනිව හැඬුවා....

සදා රකින්නම් ...


ල් සුවඳට සුළං රැල්ල වැට බඳින්නේ නෑ
හිත රිදුනම කඳුල මිසක් සිනා එන්නේ නෑ 
මා දුන් හිත ඔබ මා වෙත නැවත දුන්නේ නෑ 
ඔබ ඒ දැයි බලා ඉදිමි තවම ආවේ නෑ 

දුරින් වුවත් ලඟින් වගේ ඉන්නට හැකි නම්
ලඟින් නැතත් හිතේ මෙමට ඉඩක් තියේ නම්
මගෙන් දුරස් වෙලා යද්දී දුකක් දැනේ නම් 
යලිත් ඇවිත් මගේ වෙන්න සදා රකින්නම් 

Tuesday, October 30, 2012

කිමද ආවේ...


රිදුණු හිත ළඟ
රිදුම් පිරි මැද
රැඳෙනු බැරි නම් 
කිමද ආවේ... 

කඳුළු නෙතු මත 
කඳුළු බිඳ හැර
සිනා දෙන බව
නොවේද කීවේ...

රිදුණු සිත මත
අලුත් කඳුලක් 
තබා ඇයි ඔබ
දුරට වුවේ ...

තෙතක් නැති 
දරදඬු සිතින් කිම
රිදුණු හිතකට
සෙනේ පෑවේ ....

ඔබ ලඟම ඉමි දිව්තුරා ...

මහද කැටපත් පවුරකි
ඔබ එහි ලියූ යස කවියකි 
යොදා තනුවක් මිහිරැති 
ගයන්නට මට සිත් වුණි 

යුග ගණන් බෝ දුර ගෙවා 
පැමිණියෙමි මම ඔබ සොයා 
ඔබේ ලය මත හිස හොවා 
නිදමි සුව සිහිනෙක සදා ...

හිරු වෙලා, සඳ රැස් වෙලා 
ඔබ මගේ ලොව එළි කළා 
එළිය මැද නැහැවිලා 
ඔබ ලඟම ඉමි දිව්තුරා ...

Monday, October 29, 2012

ලොව්තුරු සුවය


මහ බෝ සෙවනේ 
සෙත් පිරිත වගේ 
සිත නිවන ඔබේ
මුදු ස්වරය ඇසේ...

කෙහෙ රැලි අතරේ
දැවටෙන පහසේ 
මුදු ඇඟිලි දිගේ 
අම සිසිල දැනේ...

මල් විලක වගේ
මුදු සුවඳ දැනේ 
කොපුලත සිඹිනා 
උණුහුම සුසුමේ... 

ලොවුතුරු සුවයේ 
නැළවෙමි සිත්සේ 
හිඳ දෙනෙත පියා 
අම්මගේ ඇකයේ ....

Sunday, October 28, 2012

සිනාවක් වී හඬන නෙතු යට ඇවිත් සැඟවී ඉන්න නොහැකි ද


සිනා සුපිපෙන මුව කමල මත
සැඟවූ කඳුලක අරුත දුටුවද ..
සිනා මල් මත පිණි පොදක් ලෙද
දිළිසෙනා උණු කඳුළු නොදුටිද ...

හිනා වෙන මගේ ඇසි පියන් යට 
කඳුල වී නුඹ ඇවිත් රැඳුනිද ...
සිනාවක් වී හඬන නෙතු යට 
ඇවිත් සැඟවී ඉන්න නොහැකි  

කඳුළු බිඳුවක අරුත සොයමින් 
කිම්ද නුඹ සිත වෙහෙසවන්නේ..
හඬන දෙනෙතක් තරම් කවුරුද 
කඳුළු බිඳුවක අරුත දන්නේ ...

සිනාවක් වී ඇවිත් හැකි නම් 
නෙත් පියන් යට සැඟව ඉන්නේ ...
නමුත් බැරි නම් දුකක් නෑ මට 
කඳුල වී නුඹනික්ම යන්නේ ....

සිනාසුනු මගේ නෙත් කෙවෙනි මත 
කවුද කඳුලක් ගෙනත් දුන්නේ ...
කඳුළු දුන් ඔබ මිසක කිසිවෙකු
නැහැනේ බව තවම දන්නේ ...

සිනාවක් වී මගේ සිහිනයේ
ඔබයි හැම රෑකම නිදන්නේ ....
කඳුළු මල් මත සිනා අතුරමි 
කියනු කවද ඇවිත් යන්නේ ....

පින්සාර ඔබේ සිත ගාව නිදන්නට පෙරුම් පුරමි හැම රෑ තිස්සේ ...


පාළු හිතට ඔබ හොරෙන්ම ඇවිදින්
ගීත ලියනවා සිත මත්තේ
යාළු සුළඟ මදහාස නගනවා
වෙළෙමින් පද වැල් මැද්දේ
තාල නොමැති ගීතයක් වෙලා
ඉන්නම්ද ඇවිත් ඔය ඇස් අස්සේ
තාල නැතොත් පල නෑලු ඉඳින්
මම දැවටෙමි අවුදින් ඔබෙ හුස්මේ ....

කෝල නුවන් අග ලීව කතන්දර
මොනවාද අහන්නට සිත ඇත්තේ
නෙතු ගාව ඉදන් දඟ පාන නමුත්
ලං වෙන්න තරම් පින් කර නැත්තේ
සඳපාන වාගේ ඉඟි පාන ඔබේ වත
සිහිනෙට විත් සිතුවම් ඇන්දේ
හීන දිගේ ගිය මාගේ හිතත්
මට හොරෙන් කෙලෙස ඔබ අර ගත්තේ ....

සංසාරේ පුරා දුර ඈත ඉදන්
මා ගාවම උන්නද නෑ දන්නේ
ඉඟි පාන හිනාවෙන් පාර අසාගෙන
ඉන්න හිතයි පෙම් සිත මත්තේ 
සිහිනයක් වෙලා හැමදාම වගේ
බොඳ වෙයිද බියෙන් සිත තැති ගත්තේ
පින්සාර ඔබේ සිත ගාව නිදන්නට
පෙරුම් පුරමි හැම රෑ තිස්සේ .....

සමු නොගෙනම හැර ගිය ඔබ ගැන සිත ඉකි බින්දා


හීනයක් වෙලා අවුදින් මගේ සිත වෙළා 
ඔබ මටත් හොරෙන් ගියේ ඇයි දෝ මගේ සිත පෙළා 
මග බලා උන්නමුත් පෙම් සිත මත කඳුළු හලා 
අතර මගකදී ඔබ මා ලොව අඳුරු කළා 

හිස් අහස දෙස බලමි අහසේ නොමැත තරු එළි
ඔබ පමණි ඇවිත් උන්නේ සිත් අහස මත දිලි 
සඳ නොමැති රැයක අහසට කොයිබින්ද සැණකෙළි 
ඔබ නමින් දරා ගමි නෙතගේ නැගෙන කඳුළැලි 

දුක ලඟදි මෙමා ඔබ ළඟ හිඳ කඳුළු ඇහින්දා 
තනිකම බිඳ ඔබ ළඟ උන්නෙමි හසකැන් කැන්දා
හිනැහුණු මගෙ ඇස් මත කඳුලක උණුහුම රන්දා
සමු නොගෙනම හැර ගිය ඔබ ගැන සිත ඉකි බින්දා 

මගේ සිත මට දෙන්න


සිතුවිල්ල වී සිතේ ඉන්න පැතුවා මෙ'මන්
සැනසිල්ල උදුර ගෙන ගියෙ කිමද මට හොරෙන්
ගඟුලැල්ල පරදන්න කඳුළු හැලුවත් ඉතින්
සෙවනැල්ල සේ ඉඳිමි ආවොතින් ආදරෙන්

අඳුරේ දී හැර ගියයි ඔබ සිතුව සෙවනැල්ල
ඔබ ලඟම ඇත තාම වී ඔබෙ සැනසිල්ල
සිනාසෙමි පිස දමන් දෙනෙත නැගී කඳුලැල්ල
ඉඩ දෙන්න ළඟ ඉන්න විලස ඔබෙ සිතුවිල්ල

කඳුළු දී නෙතු මතට ඔබයි මා හැර ගියේ
තනිව මග බලමි තව ඔබ එතැයි මා ප්‍රියේ
ඔබ උන්නු තැනම සිත ඔබ නමින් ඉඩ තියේ
යළි එන්න  පෙර විලස හොවමි ඔබ මා ලයේ

තනිකමට හුරුයි සිත හැකිය මට තනි වෙන්න
හඬන නෙතු මත කඳුල වී සදා ඔබ ඉන්න
ආයෙමත් ආදරෙන් නොහැකි නම් යළි එන්න
මගෙන් ඔබ රැගෙන ගිය මගේ සිත මට දෙන්න

මරණය


මරණය මිට මොලවා ගෙන 
වන්දනාවේ අවුදින් අප
කුලියට ගත් ජිවිතයක් 
ඔහේ ගෙවනවා ...

ගෙනා ආයු ඉවර වෙලා
යන්න දවස පැමිණියාම
කාටත් නොකියම මෙලොවින්
සමුගෙන යනවා ..

අද , හෙට සතියකින්  
නැතිනම් මාසෙන් දෙකෙන්  
නොදැන අපිත් හිනා වේවි 
දවස් ගෙවනවා ..

දැනෙන දෙයක් ඉතුරු කරලා 
මතක හිටින නමක් තියලා 
යා හැකි නම් අප මැරුණත්
නම පවතිනවා ....