Sunday, March 8, 2015

~~~ගඟ සහ ගස~~~

ඈත සමනොළ මුදුන සිප ගෙන
රළුපරළු ගල් වල හැපී
සීත උණුහුම සමව විඳ ගෙන
සුවඳ සිඹ මල් වල පිපී
නෑර හැම රහසක්ම දැන ගෙන 
හමන මාරුතයෙන් කිපී
පාර සොය සොය සයුර හමුවට
ගලා යන්නේ කිම තෙපී...

පාරවන ගත හිරු ගෙ කිරණින්
එකම එක මොහොතක් මිදී
සිහිල සැනසුම සෙනෙහෙ විඳිමින්
නුරා සුව දැහැනෙන් බැඳී
ඔබේ ඇකයේ ලබැඳි සෙවනේ
නිරාමිස උණුසුම විඳී
අසුරු සැන නිම වීය නොදැනම
සයුර වෙත යමි සිත රිදී...

Friday, March 6, 2015

සත්තකයි ඔය හිතට තාම මං ආදරෙයි...

එක පරණ කවි පෙළක නුඹ මෙ'මට ලියපු
ඒ හීන ගුලි වෙලා තිබුණා අප බලපු
එකින් එක මතක් වී පැතුම් පෙර මවපු
අළුත් කඳුළක් ඇදුණි, කොපුලෙ නුඹ සිඹපු

හීනයක් වගේ ඇස් අරිද්දී මැකුණු
කොහේ නුඹ සැඟවුණි ද සොයයි සිත රිඳුණු
තාම සිත හොයනවා සුවඳ පෙර දැනුණු
පිසලන්න යළි ඒ ද කඳුළ ඇස නැඟුණු..

හීනයක් සේ මැකි
ගියත් නුඹ සිතිජයේ
සත්තකයි ඔය හිතට
තාම මං ආදරෙයි...

පාපොච්චාරණය..

දහස් ගණන් කවි ලීවත්
නුඹ ගැන මා හිත
ලියූ එකඳු කවියක් වත්
කිසිවෙකු දැක නැත

හැම දෙනාම දකිනු රිසින්
කවි පදයක් ලෙස
නුඹෙ නම මම ලියා තබමි
සීගිරි ගල මත

කාස්සපට පුළුවන් නම්
අඟනුන් රූ සිරි අඳින්න
දුරක් ගෙවා සීගිරි ගොස්
හැකි නම් සිතුවම් බලන්න
හිත තුළ තෙරපෙන සිතුවිලි
බැරි නම් කවියක ලියන්න
කැටපත් පවුරක් කුමට ද
සීගිරියට මට කියන්න...

කඳුළු පිරුණම මගේ ඇස් අග


කඳුළු පිරුණම තමයි ලස්සන
ඔබයි කීවේ මගේ ඇස් අග
ගොඩක් ලස්සන කරන්නද ඇස්
කඳුළු මට දී ගියේ සමු ගෙන

කවියා ගෙ බිරිය (නො)කී කව

නමක් නොමැතිව ලියූ නෙක නෙක
කවි ඇතත් කාමරේ හැම තැන
මා නමින් ලී එක කවක් වත්
ඒ ගොඩේ නම් හමු වුණේ නැත

උයන බත් පත රහ ද මන්දා
තේකෙ පැණි රහ මදි ද මන්දා
කිසිත් මට නොකියන සමින්දා
අළුත් කවියක පද ඇහින්දා

බිළිඳු මොර දී හඬන හන්දා
සම වැඳී හුන් දැහැන බින්දා
මදක් ඇසි පිය ගැසු සමින්දා
යළිඳු කවි ලොව සිහින ඇන්දා

ඔබ මගෙයි මාගෙ විතරයි මේ හීන මගෙම හන්දා...

ඔබ ඔබේ නොවෙන හින්දා
ඔබ මගේ වෙන්නෙ නෑ
ඒ නමුත් මං නුඹේ මයි
මං මගේ නොවෙන හින්දා...

හඳ අහසෙ දිලෙන හින්දා
එය අයිති අහසටයි
ඒ නමුත් සඳ දියේ නැහැවෙමි
පොළොව සිඹින හින්දා..

මල පිපී වැනෙන හින්දා
එය අයිති නටුවටයි
ඒ නමුත් මල් සුවඳ විඳිනෙමි
සුළඟ ගෙනෙන හින්දා...

රැය දිගුයි සිහිනයක් වී
ඔබ සිතට එබෙන හින්දා
ඔබ මගෙයි මාගෙ විතරයි
මේ හීන මගෙම හන්දා...

කඳුළු ඇයි බර මේ තරම්

කඳුළු ඇයි බර මේ තරම් 
ඇහි පිල්ළමට රිදෙනා තරම් 
කොපුලත තෙමා - හිත දව දවා 
ගිලිහෙන්නෙ ඇයි සිහිලස දෙවා 

සුසුම් ඇයි රළු මේ තරම් 
සිත සියුම් තැන් පාරන තරම් 
හද ස්වර පවා - සුසුමෙන් වෙලා 
ගිලිහෙන්නේ ඇයි සිත රිදවලා 

ඔබෙන් ලද පෙම මේ තරම් 
මට නපුරු කඳුළක් වූ තරම් 
මට මා පවා - හිමි නැති කළා 
ඔබ මගෙන් හිත ගෙන ඉගිලිලා

පාට නොමැති ආදරයක් සොයා වෙහෙසෙමි...

පාට මල් පිපුණු උයනෙක
නේක පාට මල් මැද හිඳ
ආදරේ පාට කිම්දැයි
සොයා වෙහෙස වී..
පාට සොයා ගනු නොහැකිව
තනිව වැළපෙමි...

සෑම දාම මල් උයනට
ආදරේ සොයා පියඹන
පාට පාට සමනළයෙක්
නෙතට හසු වුණි..
ආදරේ පාට කිම්දැයි
උගෙන් විමසමි...

පාට මල් වඳුළු අතරේ
පාට නැති මලක් හිනැහෙයි
ආදරේ එයයි මා පැතු
කියා පැවසුණී..
පාට නොමැති ආදරයක්
සොයා වෙහෙසෙමි...

~~~~දික්කසාද පෙම්බර වළප~~~~

කුලගෙයි බැඳුම් බිඳිණු නොහැකි
පතිදම් පුරන්න කැපවී
නුඹ හා පෙමින්ම නික්මී ආ
මන්ද්‍රි දේවි මා..

දුක සැප ද එකම ලෙසිනී
විඳ ගන්න දිරිය ලදිමී
නුඹ පෙමට දිවිය කැප කර ආ
මන්ද්‍රි දේවි මා..

දරු සෙනේ පිරුණු ලයෙහි
කකියනා රිදුම් නුඹෙනි
සඟවලා නුඹට දිරි වූ
මන්ද්‍රි දේවි මා..

සරා සසර මගදී
නුඹ ගියා කියා දුක දී
නැති සෙනේ බිඳක් අඩු වී
මන්ද්‍රි දේවි මා..

යළි ඔබේ සෙවනෙ සැනහී
හිනැහෙනා දිනක් සොයමි
ඔබ නමින් පෙම් පුරා වැළපෙන
මන්ද්‍රි දේවි මා



තවම ඔච්චම් මොකද මගෙ හිතත් එක්කලා...

කඳුළකට පොඩි ඉඩක්
ඇස් කොනේ රන්දලා
හිනාවක් මග බලයි
නුහුරු නෙත හැංගිලා
පෙර මතක මත හිදන්
හිත යළිත් රිද්දලා
තවම ඔච්චම් මොකද
මගෙ හිතත් එක්කලා...

කවියක්ව ආදරෙන්
හිත පුරා ලියවිලා
උන්නු හැටි අමතකද
සුළැඟිල්ලෙ දැවටිලා
මතක විතරක් මගේ
තනි හිතට පවරලා
දුර ගිහින් මා දමා
ඉනු හැකි ද හිනැහිලා...

මලක් සේ රකින්නෙමි
කියා මට දිවුරලා
සදාකල් මා ඔබෙයි
සවන් මත කොඳුරලා
සපථ කර මා දමා
මගෙන් දුර පියඹලා
හිනාවෙන්නේ කොහොම
මගේ හිත රිදවලා...