Tuesday, February 26, 2013

එතෙර ගිය සැමියාට



රන්මසු සොයා දුරු රට ගිය සැමියාන
ඔබ නැති සොවින් වැළපෙයි මුදු සඳ පාන
තනිකම ඇවිත් සිත අද්දර මුර ගාන
කළුවර රෑට අහුලමි ඔබ ගැන හීන

සමුදුරු සතක් දුර උන්නත් ගතින් මගේ
හැම මොහොතකම දැනුනේ ඔබ ලඟින් වගේ
සුර සැප නැතත් එක පත කා හිඳිනු වගේ
තනියම විඳින දුක් කන්දක වේද අගේ

ගැලවී දහක් බැල්මෙන් මග ඉඟි කරන
සැඟවී ඔබ නමින් නිති පතිදම් රකින
සිහිවී දරු පැටවු එන තුරු මග බලන
මත්වී නොයේවා අන් ළඳකගෙ පෙමින

මසුරන් නැතත් ඔබ ළඟ වේ නම් සුහදේ
කතරක වුවත් සුවදැති හැඩ මල් පිබිදේ
නිම කර ඇවිලෙනා දුක් ගින්දර මහදේ
හනිකට මෙරට වෙත එනු මැන මා සමිඳේ

Sunday, February 24, 2013

අත්තම්මා



පාන්දරම අවදි වෙලා හිරු එන්නට පෙර
මිදුල පුරා ඉදල අරන් හැඩැති රටා කර
පාසල් යන්නට හනිකට මාව අවදි කර
අත්තම්මා මා තනි කර ගොහින් හුඟක් දුර

වෙල් දෙණියේ බඩ වැටියේ හවසට ඇවිදින
වෙරළු කීන පළු මාදන් හොරෙන් ගෙනත් දෙන
අත්තමේ මතක පොතේ නුඹ ඉන්නා තැන
සුන්දර සිතුවමක් වගෙයි මදහස නංවන

සිනා වෙනා සුදු වතුසුදු නෙලාන හවහට
ගියා එදා නියර දිගේ පන්සල් කන්දට
කියා මහා සද්දෙට ගථා හරි හරියට
අත්තම්මේ නුඹේ කටහඬ යළි එයි මතකෙට

සුදු ඇතිරිලි ඇඳන් පුර පස පෝ දාට
පන්සල් ගියේ අවනත වන්නැයි ඈට
අදටත් පොහොය සඳ විත් හිනැහෙන රෑට
අත්තම්මා සිහිව කඳුලැලි එයි ඇහැට

පිලේ ඉදන් කියා දුන්නු පරණ කතන්දර
මතක් වුණත් සිනහව මුව මැවෙනවා සුන්දර
අත්තම්මේ නිවන් පුරේ සැනහෙන්නට පෙර
යළිත් පෙර ලෙසින් ඉනු මැන ඉඳි වැට අද්දර


සඳු ඔබයි


නොගැයූ කවක හැංගි හිඳ බලා ........ගෙන
නොලියු අලුත් කවි හිත මත ලියා .......යන
නොපැතූ පැතුම් අතරේ නෙතු මුලා ..වෙන
නොලැබූ සුවඳ ඔබමයි මා සොයා .....එන

නොමැකෙන සිතුවමක් සේ තෙලි තුඩකින් ඇඳුනු
නොගැයූ පද වැලක් වී පන්හිඳ කින් ........ගෙතුණු
නොදුටුව සිහිනයක දැවටී සිත ...................රැඳුනු
නොනිමෙන සඳු ඔබයි සිත් අහසේ ...........පිපුණු

එන්නද සිහිනෙක නිදන්න


මල් සුවඳට ලං නොවන්න
බැහැ සුවඳට වැට බඳින්න
මල් පෙති මත දුක ලියන්න
සමනළුනේ එපා එන්න

තරු ඇස් ළඟ නතර වෙන්න
ආදරයේ සුව විඳින්න
හිත ළඟ තනියට රැඳෙන්න
එන්නද සිහිනෙක  නිදන්න

සෙනෙහස් ගඟුලේ ගිලෙන්න
සඳ රැස් දහරේ තෙමෙන්න
මුළු සසරෙම ළඟ හිඳින්න
ඉඩ දෙනවද ඔබෙම වෙන්න ..

හසරැල් අරන් එනු මැන සිත නිවාලන ..


පුරපස සඳුට පෙම් බැඳ කවි පද ලීවා
අවපස වෙලා සඳ හිත මත දුක තීවා
නුබ කුස අරා දිලුණත් නෙක තරු බෝවා
තරු ඇස හඬයි ගන්නට නොහැකිව වාවා

සිහිලැල් නුඹේ රුව සිත මත මවා ගෙන
කඳුළැල් දරා ගමි තනිකම පුරෝ ගෙන
සුවිසල් මැදුරු නොපතමි නෙතු මුලාවන
හසරැල් අරන් එනු මැන සිත නිවාලන

පෙම් පුරාවත


ජීවිතය සොයා දුර යද්දී වෙච්චි මුලාවක්
තාමත් සිත යට තෙරපෙයි නොදී සමාවක්
ඒ මතක පෙතට සමු දී යළි එකම වතාවක්
ඔබ ළඟ ඉන්නම් අලුතෙන් අපි ලියමු කතාවක්

මල් සුවඳ වගේ හද ගැඹරේ වෙළී සැනහිලා
ළඟ ඉන්න සදා තරු ඇස් යට සතුට තවරලා
උණු කඳුළු බරයි වාන් දමන දෙනෙත උතුරලා
සිනහවක් වෙලා ඉන්නම් සිත ගාව නැවතිලා

ලය මඩල මතින් හිස තියාන පියා ගෙන දෙනෙත්
සඳ එළියක් නැති හැන්දෑවක නිවා තරු එළිත්
සැනසෙන්න හිතයි උණුහුම ළඟ ආයෙමත් ඇවිත්
පෙම් පුරාවතක ලිය වේවි දිනෙක අපෙ නමත්

පවනැල්ලක් ලෙසින් නොමයන් දුර පියඹා


කුසුමක් වෙලා හද අරණේ පිපෙන්නට 
සුවඳක් ලෙසින් හිත් මානේ වෙළෙන්නට 
සුවයක් සදා ඔබ සෙවනේ විඳින්නට 
මොහොතක් හැකිද මා ගාවින් රැඳෙන්නට 

සපුමල් සුවඳ සේ විත් මා සිත කළඹා 
සිහිලැල් සුවැති හැඟුම් හද ගැබෙහි තබා 
කඳුළැල් නෙතට දී රහසින් දුකෙහි ඔබා 
පවනැල්ලක් ලෙසින් නොමයන් දුර පියඹා 

සුබ උපන් දිනක් තාත්තී ....




(2013.02.24 දිනට යෙදෙන මගේ පියාණන් ගේ 70 වන උපන් දිනය වෙනුවෙනි )

මගේ සිරුරේ ගලා හැලෙනා සෑම ලේ බිඳුවක පවා 
ලියා තිබුණේ ඔබේ ගැනමයි හැදූ යුරු උකුලෙහි හොවා 
බුදුන් වඳිනා දෑත නළලෙහි තබා උදයේ රෑ දිවා 
දෙපා වඳිනෙමි පියාණෙනි ඔබෙ මගේ සිරසම බිම නවා 

සොයා මසවුළු ගෙනත් දුකසේ අනා රස කර මට කවා 
ඇඟිලි තුඩගින් සෙමින් අල්ලන් ගුරුන් සෙවනට මා යවා 
රටක් දිනනා දුවෙක් වන්නට නොයෙක් වර දී මට ඔවා 
පියාණෙනි ඔබමයි බඹුන් මට දුන්නු මගෙ ලෝකය මවා 

දැයේ දරු පරපුරට හතළිස් වසක් සිප් කිරි කර පොවා 
සැදෑ සමයට එළඹ දිවියෙහි දශක හතකුත් ඉක්මවා 
පැමිණි මග දෙස බලන කල ඔබ මෙතෙක් දුක සේ ආ ගෙවා 
දෙවියනුත් දෙව් ලොවින් මෙහි විත් වඳී නුඹ හට හිස නවා 

එදා අද මට දුන්නු පිය සෙනෙහසට කවියෙන් නමදිමි 
මගේ පුතුටත් බෙදා දෙන ඒ සෙනෙහසත් මා විඳිනෙමි 
සදා කල් තෙරුවන් බෙලෙන් නිරෝගී සුව සෙත පතනෙමි 
දිනු දින ඔබ පියාණෙනි ජය වන්න ආසිරි ගෙන එමි 

Wednesday, February 13, 2013

දයාබර වැලන්ටයින්,




දයාබර වැලන්ටයින්,
බැරිද එක වතාවක්
ඔහුව එක්කන් එන්න
ආයෙමත්
ඉස්සර මුණ ගැසුණු
මල් පාරේ කෙළවරට ...
චොකලට්,
රෝස මල්
ඉල්ලා ගන්න නෙවෙයි .
ඉස්සර වගේම
තවමත්
මම
හුඟක් ආදරෙයි කියලා
එකම එක වතාවක්
ඔහුට කියන්න ....

Tuesday, February 12, 2013

මේ සොඳුරු රැය දිගයි ....


සඳු නැතත් අහස් කුස
තරු කැකුළු ඉඟි මරයි
ඒ එළිය මැදින් නුඹ
සිනා වත මට මැවෙයි ..

වසන්තෙට අත වනා
මුදු පවන් රැල් ඇදෙයි
ඔබෙ සුවඳ එහි ඔතා
මා වෙතම රැගෙන එයි ..

සිත පුරා ඔබ ඉදන්
අලුත් කවියක් ලියයි
තනිකමක් මට කොහිද
රෑහියන් ගී ගයයි....

නින්ද නැති නෙතු පුරා
ඇවිත් ඔබ සැරි සරයි
සිහිනයට තුරුළු වෙමි
මේ සොඳුරු රැය දිගයි ....

Sunday, February 10, 2013

~~~~ගල් මලක්~~~~



මුදු සුවඳ නැති
රොන් රසය නැති
රළුම රළු වූ
ගල් මලක්
මම
බඹරු නුදුටුව ...

බිඳී විසිරෙන
සයුරු රළ මැද
පිපී හිනැහෙන
ගල් මලක්
මම
තනිව වැලපෙන ...

ගසේ අතු මත
නොපිපි හින්දා
නැතැයි කියනා
මුදු හිතක්
මම
ගල් මලක්
නැති කිසි හැඩක් ..

ලොවට රහසෙන්
තබා සඟවන්
සදා රකිනා
තෙත හිතක්
වෙමිය මා
මුදු ගල් මලක්
ඇති පෙම් හිතක් ....

සොයා එන්නට වේ හිතක් ....


සිහින් පොද වැස්සේ දිනක් 
තෙමි තෙමි අප ගිය දුරක් 
මතක් වන විට අදත් නෙතු අග 
තෙමනවා කඳුලැලි බිඳක් ..

ඔබේ එක හසරැලි පොදක් 
නිවු හැටි සිත දුක් ගඟක් 
සිහිව අවුදින් සිතට දැනුනා 
දරා ගන්නට බැරි දුකක් ..

නෙතේ දැවටෙන සිහිනයක් 
ලෙසින් නුඹ විත් තව වරක් 
මගේ සිත මත නොයෙක පැහැයෙන් 
අඳී පෙම්බර සිතුවමක් ...

ගෙවා ගෙන ආ බෝ දුරක් 
සොයා එන්නට වේ හිතක් 
ලියා එව්වොත් ඔබේ හිත මත 
තවම ඇති බව මට ඉඩක් ....

Saturday, February 9, 2013

මා බලා උන්නේ ඔබෙ හුස්ම වෙන්න



මා බලා උන්නේ
ඔබෙ හුස්ම වෙන්න
හුස්මක් වාගේ
ඔබ ලඟම ඉන්න...

ඇයි කඳුළු දුන්නේ
මට බැහැ හඬන්න
කඳුළක් සේ බෑ මට
නික්ම යන්න ...

ආයෙත් සැරයක්
සිනහවක් දෙන්න
ඒ ඇති මට සැමදා
පෙම් කරන්න ....

Thursday, February 7, 2013

මගේ ආදරේ ...


හීන් සීරුවේ ඇවිදින්
කාටවත්ම නොදැනෙන්නට
කන්පෙති මත දෙතොල් තබා
කොඳුරන්නට හිතෙනවා මට
මගේ ආදරේ ...

සංකාවක් නොදැනෙන්නට
සංසාරෙම ලගින් ඉන්න
පොරොන්දුවක් වේ නම් මට
සත්තයි දෙනවා නුබ හට
මගේ ආදරේ ....

Wednesday, February 6, 2013

එක වදනක් වත් දොඩන්න ටිකක් හිනැහිලා


වලාකුළෙන් සඳ වැසිලා එළිය සඟවලා 
වාගෙයි නුඹ තරහ වෙලා මුහුණ කළු වෙලා 
තව නම් මට ඉවසනු බෑ මෙලෙස ගොළු වෙලා 
දැන් එක වදනක් වත් දොඩන්න ටිකක් හිනැහිලා 

කතා නැතිව අප දෙන්නා ගෙවන තත්පරෙත් 
කල්පයකට දුරයි කියා දන්නවා නුඹත් 
මුණිවත කුමකට රකිනු ද මේ ලෙසින් තවත් 
මදිද හෙලූ කඳුළැල් තෙත් කරන් මා දෙනෙත් 

කල් බලා උනිමි හිනා වෙන්න ඔබේ ළඟට වී 
හේතුවක් නැතිව තරහ වෙලා හුඟක් නපුරු වී 
මට හිනා වෙන්න කියා දුන්නු ඔබේ  හසරැලි 
ඇයි මුවා කළේ මගේ නෙතට ගෙනත් කඳුළැලි 


Tuesday, February 5, 2013

සයුරු තෙර උදාසන .........



(Alfrida de Silva කිවිඳියගේ Sea Morning නමැති පද්‍යයේ සිංහල අනුවර්තනයකි)

උදා හිරු නගින කල
සලා පිණි කැට රැයේ
වැලිතලා රන් පැහැය 
තවරමින් හිරු රැසේ...
නිදි වැදුණු සයුරු රළ
නිදි දැහැන් මුදා හැර 
හඬ නගයි හෙමි හෙමින්
කඩොලාන ගස් අතර ...
අවදි වී නිදි ලොවින් 
මේ ගමේ මිනිස්සු 
නෙත් දෑල පිසදමති 
තවම නිදි මතින්දු .....
නිදා ගත යුතු නමුත් 
තව වෙලා සයනයේ 
වරම් නැත උදාසන 
හිරු රැගෙනවිත් තියේ ...
ගැහැණියක් අහර දෙයි 
ඇගේ කිකිළියන් හට
ඔවුන් හඬ තල තලා 
පොර වදී අහරට ..
නෙත් යොමා සිතිජයට 
ඇය යදී ජීවිතය 
අදක් ඇති මුත් ඇයට
හෙටක් ගෙනවිත් නැති ද ...!!?? 

Monday, February 4, 2013

නෝක්කාඩු කම් මොකටද දැන් ඩිංගක් හිනා වෙන්න ....




ගණ අඳුරට හුඟක් බයයි එපා මාව තනි කරන්න
සඳ එළිය බිඳක් ගෙට එබෙන්න ජනෙල් පියන් පත් හරින්න
සීතල සුළඟට උණුහුම ඔබෙ ලය මඩලෙන් විඳින්න
ආසයි මට ආදරයෙන් ඇස් අද්දර තුරුල් වෙන්න
ඇස් පියාන ඔබෙ සෙනෙහස හිත පුරාම දරා ගන්න ..

කතා කියන ඇස් දෙක ළඟ නිදි නැතිවම රැය ගෙවන්න
තොල් පෙති මත ආදරයෙන් උණුසුම් සුසුමක් තබන්න
උර මඩලේ සුව යහනේ සොඳුරු සිහිනයක නිදන්න
සංසාරෙම ළඟ ඉන්නම් තනි නොකරන බව කියන්න ...

හිරුත් එක්ක අවදි වෙලා අලුත් සිහිනයක් දකින්න
පිණි වැස්සේ බඩ වැටියේ සුදු අරලියා මල් නෙළන්න
ඔය ඇස් දෙක වගෙ ලස්සන පුතුට උකුලෙ සුව සදන්න
නෝක්කාඩු කම් මොකටද දැන් ඩිංගක් හිනා වෙන්න ....

කඳුළු නම් නොදෙන්න


පුර හඳට රස රහස් කියන්න
වළාවේ ඇබින්දක් එබෙන්න
තරුවකට පෙම් කවක් ලියන්න
සඳේ ඉඩ තිබේදැයි අහන්න

පෙම් හැඟුම් මෝරලා වැඩෙන්න
පිණි වැස්සකින් ලොවම තෙමන්න
සිසිලසේ උණුහුමෙන් වෙළෙන්න
මුවා කළ සඳ එළිය එවන්න

ගීයක්ව හදවතේ රැඳෙන්න
හාදු වැස්සක් ඇතිද අහන්න
සඳ සිසිල සේ සදා හිඳින්න
හැබැයි මට කඳුළු නම් නොදෙන්න

තාමත් මේ හමුවීම හීනයක් වගේ ...


ඈතින් බලා හිඳින තරු ඇස් නුඹේ
දාහක් කතා ලියයි සිත මත මගේ
ඉවසාන මග බලන්නෙමි පාළුවේ
තාමත් මේ හමුවීම හීනයක් වගේ ...

දුර උන්න මුත් ලඟින් ඉන්නා ලෙසේ
ඔබෙ සුවඳ දැවටෙන්නේ හුස්මක් දිගේ
සැඟවෙන්න ඉඩ දෙන්න ඔය පපුතුරේ
තාමත් මේ හමුවීම හීනයක් වගේ ...

මගෙ හිත පුරා දෝරේ යන ආදරේ
ළඟ ඉදන් මුමුණන්න කවියක් වගේ
ලං වෙන්නේ කවදාද කිව මැන ප්‍රියේ
තාමත් මේ හමුවීම හීනයක් වගේ ...