Wednesday, December 4, 2013

මගේ තාත්තා ....

දැල් ගහපු බස් එකෙන්
මාසෙකට වතාවක්
මා බලන්නට එන
අපේ තාත්තා ..

යකඩ කූරු මැද්දෙන්
මා දිහා බලා ගෙන
කඳුළු කැට පිහිදනා
මගේ තාත්තා ...

විලංගු ලු අත් වලින්
මගේ හිස අත ගගා
රජෙක් වීයන් කියන
මගේ තාත්තා ...

අපේ ගෙදරට නොඑන
එතැයි මා මග බලන
හිර ගෙදර දුක් විඳින
මගේ තාත්තා ....


පුංචි එකී මං ...

සුදු කොට රැළි ගවුම ඇඳලා
කොණ්ඩ කරල් දෙකක් ගොතලා
දෙවැට දිගේ අකුරට ගිය
පුංචි එකී මං ...

අරලිය ගය උඩට නැගලා
පොකුරු පොකුරු මලුත් නෙලලා
උදාසනම පාසල් ගිය
පුංචි එකී මං ...

සමනලුන්ට රහස් කියලා
බත් කූරන් නූල් බැඳලා
ලන්ද දිගේ දං කඩාපු
පුංචි එකී මං ....

කොලු රෑනේ මැදට පැනලා
වෙල් එළියේ එල්ලේ ගහලා
තාත්තට හොරෙන් ගෙට ගිය
පුංචි එකී මං ......

ශිෂ්‍යත්වය හොඳට ලියලා
මහා ඉහළින් ලකුණු ලබලා
ගමෙන් සිදාදියට ආව
පුංචි එකී මං ....

සමනල් හිත ගමේ තියලා
සිදාදියේ අකුරු කරලා
ගමේ යන්න පාර හොයන
ගමේ එකී මං ...

එන්න හිතේ ලැඟුම් ගන්න සිහිනයෙන් මිදී...

හෙමින් ඇවිත් ලැගුම් ගන්න ඔබේ හිත මතින්
කලක් බලන් හිටියා දුක දරා ගෙන සිතින්
අකල් වැස්ස ලෙස හිත වෙත ඇද වැටි සැණින්
අලුත් පෙම් කවක් මුමුණන් නම් ද දැන් ඉතින් ..

දුරක් යන්න අත අල්ලා ගන්ට සිතෙනවා
කොතෙක් දුක දරන්ට වෙද මසිත අහනවා
දහක් කතා ඔය ඇස් යට රහස් කියනවා
පෙමක් එපා තනිකඩ හිත මට මුමුණනවා

අහංකාර එක බැල්මක හිසරය වැදී
මගේ හිතත් දැන්නම් ඇත හොඳටෝම රිදී
කෝලිත්තම් කතා එපා හිතට දුක නොදී
එන්න හිතේ ලැඟුම් ගන්න සිහිනයෙන් මිදී .....

Wednesday, October 2, 2013

දිවිතුරා ඔබයි ඔබ පමණයි ආදරය මගේ ....


සඳ තවම නාඹරයි
පිණි වැස්ස සීතලයි
නුඹ ලැගුම් ගත්තු මේ හිත යට
හරිම උණුහුමයි
ඒ ආදරේ තමයි ....

ඉර ඇහැරෙනා උදේ
මල් සුවඳ සේ වෙළී
සිත පුරා රඟන ඔබෙ සෙනෙහස
ජිවිතේ මගේ
ඇස් පියන් වැසෙන තුරු ඔබමයි
ආදරය මගේ ....

තරු හිනැහෙනා රැයේ
මද අඳුර හා එතී
සිත පුරා දුවන ඔබෙ සෙනෙහස
ජීවිතය මගේ
දිවිතුරා ඔබයි ඔබ පමණයි
ආදරය මගේ ....

සිදංගනාවි ......



රෑ දොළොස් පැයේ නොනිදන
තුන් තිස් පැය දුගඳ හමන
මුඩුක්කු රජ මාලිගාවෙ
සුරංගනාවී ......

උලා දෙතොල් මත රත් පැහැ
කොපුල් මත පුයර තවරා
දෑස් කොනෙන් බැලුම් හෙළන
සුරංගනාවී .......

මරියකඩේ වංගුව ළඟ
දෙමළ සින්දුවක් කිය කිය
අසුපිට එන  කුමරු පතන
සුරංගනාවී .....

තුට්ටු දෙකට ඇඟ විකුණා
මල්ලක් බඩු ගෙදර ගෙනත්
දරුවන් කුස ගිනි නිවනා
සිදංගනාවි ......




දිව එන්න හිතෙනවා ඔබ සෙවනෙ දැවටෙන්න

සඳ දුරින් දිලුනාට එහි සිහිල විඳ ................ගන්න
තරුවකට පුළුවන්ලු හෙමි හෙමින් ලං ......වෙන්න
දුර වුණත් ඔය හිතේ පෙම් සිහිලෙ ....සැනහෙන්න
දහක් බැමි බිඳ දමා හිතෙනවා මට ..............එන්න

දේදුන්නෙ සත් පැහැය නෙත් ඉමේ ......තවරන්න
අත පොවන මානයේ ස්නේහ සුව ........ගවසන්න
මියෙන තුරු ජිවිතේ එකට හිඳ ........සැනහෙන්න
දිව එන්න හිතෙනවා ඔබ සෙවනෙ ....දැවටෙන්න

දෙතැන හිඳ වැළපෙනා තනිකමට ......සමු දෙන්න
සඳක් සේ බැස නොයා හිත් අහසෙ ....සුදිලෙන්න
ඔබේ වී හැමදාම පෙම් සුවේ ................විඳ ගන්න
සඳවතිය එන තුරා තරු කැකුළු ...........ඇහිඳින්න

තුන් හිතක නෑ මගේ පෙම් හිතක් ........රවටන්න
ලං වුණේ දිවිතුරා ඔබෙම වී ළඟ .............ඉන්න
හාදු වැස්සක් කොපුල් තල පුරා ..........අතුරන්න
සත්තකයි ඉක්මනින් එන තුරා ..........ඉවසන්න

මතකයි තවමත් හිනා වුණා පුංචි ඇස් වලින්

මගෙ මතක මහ ගොඩයි
ඒ හැම මතකෙම හැම මොහොතෙම
ඇත්තෙ එක දෙයයි ..
ඒ ආදරයෙන් රහස් කියන
ඔබගෙ නෙත් දෙකයි ....

දුර ඈත දවසකදී හමුවී
නාදුනන ලෙසින්
මතකයි තවමත් හිනා වුණා
පුංචි ඇස් වලින්
ඔබ ගියා දුරක හිත තියලා
මගේ ඇස් ලඟින්
යළි ඒද සිතා හැඬුවා
මුළු රැයක් මා දුකින් .....

මල් හීනයක් වගේ විත්
හිත ගාව සිනා සී
මහ ගොඩක් ආදරේ දුන්නා
ඔබ මගේම වී
ඒ මතක සිතුවමක් විලසින්
සිත යට තෙරපී
යළි යළිත් සතුටු සෙවනැළි
සිතුවමට නගාවී ....

මට ආදරෙයි ද දැන්වත් එක වරක් කියන්න ....

ආදරේ සොයා ගෙන මා හිත
ගොඩක් දුර ගියා
ඒ යනෙන අතරමග තැනකදී
නුඹත් හිනැහුනා
එක වරක් දැක්ක නුඹේ නෙත් දෙක
යළිත් සිහි වුණා
මේ සසරෙ පුරුදු සුහද බවක්
ඇතැයි වැටහුණා ....

ඔය ඇස් කොනේ ලියා ගෙන
මහ ගොඩක් කතන්දර
හිනැහුණේ ඇයි මෙහෙම
මගෙ හිත මගෙන් දුරස් කර
යළි යළිත් දකින්නට ඔය නෙත්
පතයි දහස් වර
හිත හදා ගන්න බෑ ඔබ රුව
මැවෙයි නෙත'ද්දර

මට මතක් කරන් මුළු දවසම
සිනා නගන්න
එක හිනාවකුත් ඇති මා හිත
විඩා නිවන්න
ඔබ නොදන්නවා වාගේ ඇයි
එපා දවන්න
මට ආදරෙයි ද දැන්වත්
එක වරක් කියන්න ....

ආදරේ එවන්නද මං ඔබ වෙතට හොරෙන්


මාරුතේ ..පුරා ගවසා හාදු වැස්සකින්
ආදරේ ... එවන්නද මං ඔබ වෙතට හොරෙන්
පාළුවේ ... තනිව ලතැවෙන ජිවිතේ නුඹෙන්
ස්නේහයේ .. සතපවන්නට සොඳුරු ඇස් යටින්

ආදරේ ...කිමැයි නොදන්න ළදරුවෙකු ලෙසින්
ජිවිතේ ...සොයා නැවතුනෙ ඔබ ලඟයි සැනින්
වේදනා ..සයුර කළඹා කොපුල් තල මතින්
සීරුවේ ...ගලන කඳුලට වැට බඳිමු ඉතින්

තාරකා ...පවා නිදියන රැක සීරුවෙන්
භාවනා ....කරන්නම් හිස තියා ලය මතින්
පායනා ....හිරුට කලියෙන් දෙතොල් ආදරෙන්
පාරලා ....නිදමු තුරුලෙම උණුහුමට සොඳින්

නුඹයි සිත සැනසුවේ හැමදාම දුක දැරුව ...

දොඩමළු ඇස් ගාව
හිතේ දුක ගුලි කරන්
නොපෙනෙන්න දුර යන්න
හිතෙනවා රත්තරන්
අපි අපට මේ තරම්
පෙම් කරන බව දැනන්
ලෝකයම එරෙහි වෙයි
මගෙ නමින් අවි දරන් ...

හිතේ දුක හිත යටම
තියා ගන්නේ නැතුව
මං නුඹට කිව් නිසා
බිඳක් වත් අඩු නැතුව
කඳුලකට නෙතු කොණේ
හිනැහෙන්න ඉඩ පැතුව
නුඹයි සිත සැනසුවේ
හැමදාම දුක දැරුව ...

කාටවත් නොදැනෙන්න
මං නුඹට පෙම් කළා
ලෝකයට අපි අපව
දන්න බව සඟවලා
ඒ නමුත් මගෙ හිත
හඬන බව දුක් වෙලා
නුඹ තවම දන්නේ නෑ
හිඳිමි මං ගොළු වෙලා ...

තෙවසරක වෙනස අප
අතර බැම්මක් වෙලා
තිබෙන හින්දා සිතින්
පෙම් කරමි තනි වෙලා
ඔබ කියා දුන් ලෙසම
මහ ගොඩක් නොහිතලා
සැහැල්ලුව හිඳින්නට
දිරි ගනිමි ඉවසලා ....

දිනක් ඒද ඔය තුරුලේ සැනහෙන්න ...

සඳත් ...ඔබයි හිරුත් ඔබයි මගෙ ......ලොවට
තරුත් ..ඔබයි සඳු නැති ඝන ...........කළුවරට
අදත් ...හෙටත් හැමදාමත් ළඟ ............ඉන්ට
තවත් ..සෙනේ දුන මැන හිත .........උතුරන්ට

අලුත් ....හිනා කැකුළක් මුව ...........ගවසන්න
හෙටත් .උදාසන එනවද .................පවසන්න
කවිත් ...නැතේ පෙම මිස සිත .......සනසන්න
ඔබත් ...සදා මගෙ නේදැයි ............පවසන්න

සඳක් ...වෙලා ඔබෙ ලෝකය .........සරසන්න
මලක් ..ලෙසින් හද අරණේ ..........සුපිපෙන්න
රැයක් ...පුරා ළඟ හිඳ කවි .............මුමුණන්න
දිනක් ...ඒද ඔය තුරුලේ ............සැනහෙන්න

දරා ගන්න නම් බෑ මට මගෙ හදවත රිදුණු ...

රිදවා සිත හඬන කලට අනුකම්පා නොකර
හිත හැදෙන්න එක වදනක් වත් කියන්නේ නැතුව
කේන්තියෙන් මට බැණ බැණ මගෙ හිත් මල තැලුව
මට මතකයි හිනා වුණා නුඹේ ඔය ඇස් රතුව

තනිය සැපයි, මාව එපා මට යන්නට කියපු
නුඹම කිමැයි දුක් කවියක් මේ හැටියට ලියනු
කඳුළු බරයි නෙතු අද්දර නුඹට හොරෙන් උනපු
දරා ගන්න නම් බෑ මට මගෙ හදවත රිදුණු

දිවි ඇති තෙක් කවදාවත් තනි නොකරමි කියලා
තිබුණා මතකයි ඉස්සර එවූ හසුනක ලියලා
සැනසෙන්නට ඔබ මිස වෙන පැතුමක් නෑ පතලා
යළි එන්නම් ඉනු හැකි නම් මගෙ හදවත නොතලා

මේ දුක දරමු රහසින් අපි .....

මල් හීන රන්දාන හැමදාම ඉඟි පාන
ඔය දෑස සිහිනෙට එබී
දුක හිතෙන හැම රෑම කඳුළකින් නෙතු වසන
මතකයක සිතුවම් අඳී ...

දුර යන්න සිතුවාට ළඟ වාගේ දැනුනාම
සුසුමන් ඇවිත් ලය පිරී
කඳුලක් උනයි නෙතු තෙමී ....

පෙම් හීන දුටුවාට පෙම් ලෝක මැවුවාට
පෙර පවට අපි අපෙ නොවී
මේ දුක දරමු රහසින් අපි .....

හෙට ආයෙත් කවකට මතකය වන්නට හැකි ද ..

මහ ගොඩක් පැතුම් අරගෙන සඳු අදත් .............ඇවිල්ලා
යළි යන්න යාවි හෙට උදයෙම දුක මට ................තියලා
මුළු රෑ පුරාම සඳ එළියේ දුක් කවි ........................ලියලා
ඔබ දන්නවාද දැන් මගෙ හිත හොඳටම .............ගෙවිලා

සඳ කුමටද අහසට ඝන අඳුරක් .........................නැතිනම්
තරු මල් පිපුණට සද නැති රෑ නැහැ නොවැ .........මනරම්
කවි වැල් ගෙතුනම හිත මත නිදි වරමින් ............තුන් යම්
ඔබ නැති එකමෙක කවියක් වත් වෙද සොයනෙමි ....මම්

දුක සගවා ගෙන සතුට එවමි කවියක ...................ඔතලා
ඒ කවිය ඒවි උඩු සුළගේ ඔබවම .....................සොයලා
හිත සතුටු කර එක ආදර වදනක් .........................ලියලා
ඒ කවිය නැවත එවනු හැකිද මා වෙත ...............පෙරළා

සදු නාවොත් මේ අහසට රෑ එළියක් .................කොහි ද
තරැ දාහක් පෑයූවත් සදු වාගේ ............................හැඩ ද
දුක නැතිනම් කවි සිත ලග කවියක් හැඩ ............වෙයි ද
හෙට ආයෙත් කවකට මතකය වන්නට .............හැකි ද

කියලා දෙන්න මං දන්නේ නෑ ...

හිමිදිරියෙ පිබිදිච්ච
ගැට පිච්ච පෙති අතර
හිඳ හිනැහෙනා
පිණි බිංදුවක් මෙමට
ඔච්චම් කළා ...
ඇයි හිනැහෙනේ
තනියෙන් කියා ...

ඉර ඇහැරෙන්නටත් පෙරම
හිත් පොඩියෙ ගුලි වෙච්ච
ඔබෙ සුවඳ මේ යැයි කියා ...
මට හිනැහිච්ච පිණි දන්නේ නෑ ...
කියලා දෙන්න මං දන්නේ නෑ ...

රෑ හීනෙන් ඇවිත් නිතර
තුන් සිත පෙමින් වෙළන
ඔබෙ සෙනෙහෙ මෙතෙකැයි කියා ..
මට හිනැහිච්ච පිණි දන්නේ නෑ ...
කියලා දෙන්න මං දන්නේ නෑ ...

.... පෙරහර වරුණ ......



ගිගුම් දී ගුවන් ගැබ සියක් කස ............ලෙලවෙතේ
අතින් අත පහන් සිළු රැඟුම් දී ...............කැරකෙතේ
මගුල් බෙර හඬින් දෙව් බඹුන් පොළොවට .....එතේ
රැඟුම් දැක අත් බැඳන් සාදු නද ..................පතුරතේ

පසඟ'තුරු නද පතුල මුළු නුවර දස ...............දෙසේ
මවන සිරි නිතැතින්ම කඳුළු පුරවයි ...............ඇසේ
මෙ'සිරි සිරිලක දි හැර ලොවේ දකිමුද .........කෙසේ
සාදු නද සිව් දිගින් යළි යළිත් මට .................ඇසේ

සක් නදින් සිත් පුරා බොදුනු බැති ..............පුබුදුවා
දන්ත ධාතුව ගිජිඳු සිරස මත ....................පළඳවා
කල් වැසිත් දී දනන් රකින්නට ...................රෑ දිවා
සිත් තොසින් වදිම් පෙරහරට සිරසම ............නවා

නිකිණි සඳ එළිය මැද ඇසළ පෙරහර ..............සිරි
නිතිනි සිත් මත පහන් හැඟුම් දෙයි පිරි ............පිරී
තෙදිනි දෙවියන් වසන කඳු ඉමේ ...............අස්ගිරි
බැතිනි වඳීනෙමු පතා සිරි ලකට ................සවු සිරි

මගේ සිත නුඹ පෙමින් තෙමු හැටි ලොවෙන් සගවා ගනු බැරී ....

අකල් වැස්සක් සේ ඇදී
අවුත් සිත මත පතිත වී
මගේ සිත නුඹ පෙමින් තෙමු හැටි
ලොවෙන් සගවා ගනු බැරී

රෑට අහසේ සදවතී
වළා අතරින් එබි එබී
හිනාවෙන සේ මගේ සිත් මල
පිපෙයි නුඹ සෙනෙහෙන් දිලී

සිත පුරා මගෙ ගුලි ගැසී
නුඹෙ නමින් ඇති සිතුවිලී
එකින් එක ගොනු කර තියන්නම්
මතින් පිබිදෙන මල් පෙති

කවක පද මෙන් සුමිහිරී
ඔබේ සෙනෙහෙන් ඔද වැඩී
අලුත් පෙම් ගීයක් ලියන්නට
ඇත්තමයි මට ඇත සිතී ......

හිතේ සෙනෙහස ඔබෙ තමා ...


සිතින් කෙතරම් පෙම් කළත් නුඹ මුවින් නොකියා දී .....දුකක්
නෙතින් ගිලිහෙන කදුළු රහසින් දරා උන්නා මා ..........හුඟක්
ගතින් දෙතැනක සිතින් එක තැන මවා මා පෙම් .....සිහිනයක්
ඉතින් නුඹ මගෙ වේය පතමින් බලා ඉන්නම් .........කල්පයක්

මුදා කඳුළැලි සිනාසෙන්නට පෙරුම් පුරනා මුත් ..........මෙමා
අළුත් කඳුළක් යළිත් එබුණා කොපුල් තල රහසෙන් ....තෙමා
මගෙන් ඈතක බොහෝ දුරකට ගියත් සැඟවී මා ............දමා
ගතින් දුර මුත් හිතේ සෙනෙහස සදාකල්හිම ඔබෙ ........තමා

සිනාසෙන්නම් හදේ මැවෙනා ඔබේ රුව සිත මත ........දරන්
කියාදෙන්නම් ලොවට දවසක තනිව පෙම් කරනා .......තරන්
බලා ඉන්නම් වඩින තුරු ඔබ මගෙ ලොවට සිනහා ......අරන්
දරා ගන්නම් එදා වෙනකල් නැගෙන දුක හද තෙත් .....කරන්

අකීකරු අකුරු ...

අකීකරු අකුරු වැල්
හිත යටින් මතු වෙලා
ආදරේ කවි පෙළක්
හිත මතම ගොතනවා...

හිනා වෙන ඔබේ ඇස්
ඒ අකුරු මත හිඳන්
තාම මං නොකියවූ
කතාවක් කියනවා ...

තනිකමට ගුලි වෙන්න
හිතේ දුක පවසන්න
ඔය හිතේ ඉඩ ඇත්ද
සිත මගෙන් අහනවා ...

නිම නොකළ පෙම් කවිය
හිත යටම සඟව ගෙන
පුරුදු තනිකම දරන්
මං සුසුම් සිඹිනවා .....

...ගබ්සාවක පාපොච්චාරණය....


යනෙන මගක අතර මගදි
හමුව සිනා සී ලං වුණු
මග වැරදුණු තරුවෙන් මං
එළියක් පැතුවා ..
ඒ එළියෙන් මගෙ ලොව
එළි වේ යැයි සිතුවා ...

වැටකේ හෙවණක සයුරු තෙරක
සිනමාවක අඳුරු කොණක
අවන්හලක පොඩි කුටියක
සෙනෙහස සෙව්වා ..
බැඳි සෙනෙහෙන් මා පතිවත
ඔහු වෙත පිදුවා ...

වරු ගණනක් දොඩමළු වූ
ඇමතුම් එකිනෙක අඩු වී
දවසින් දවසට බැඳී පෙම්
බැමි ඔහු බින්දා ...
වාවනු නොහැකිව හද දුක
මා ඉකි බින්දා ....

මෝරන ගැබ පාරන සිත
අළුතෙන් කඳුළක් මතු කර
පාළුව තනිකම දිවියට
විස කර පෙව්වා ....
සිතල කඳුළක් යළි යළි
මා සිත දැවුවා ....

සමාවෙයන් 'පුත' නුඹ මට
ලෝකය දකිනට පින් මද
ලොවට හොරෙන් නුඹ නසනට
සිත දිරි වැඩුවා...
මොහොතින් නුඹ රුහිරු ගඟක
පා කර යැව්වා ....

රතුපස්වල කඳුළු ....


මාවිල් ආරුවේ දිය කඳ එදා වැසූ 
නොමිනිස් කොටි රැළට පිට පිට පහර ගැසූ 
අවිගත් සෙබළ දරුවෙනි, ගුණ ගැයුම් ඇසූ 
කිම අද මෙලෙස අසරණ දිවි තුනක් නැසූ 

යුද අපරාධ සිදු වූ බව ලංකාවේ 
පැන පැන චැනල් ෆෝ ලොවටම ගෙනාවේ 
දැක මේ විපත ලෝකෙම අද හිනා වේ 
මොනවා කියන්නද වුණු දේ වුණාවේ 

පවසට සිහිල් දිය බිඳකුඳු කොහි වේද 
ජන රළ මඩින්නට උණ්ඩය ඇති වීද 
හෙට යළි සටන් කරනට උන් නොම ඒද 
යුක්තිය මෙයයි රට හෙට කොයිබට යාද ???!!

මගේ අම්මේ ඔබ ළඟ මට තාම කිරි සුවඳයි ............


රුවන්මැලියට උඩින් පායන පුර හඳේ එළියයි 
මහා බෝධියෙ ලදළු පත් සිප හමා එන සුවයයි 
කලා වැව් දිය සේමැ සැම කල් සදාතන සිසිළයි 
මගේ අම්මේ ඔබ ළඟ මට තාම කිරි සුවඳයි

තබා පියවර පිය නගන්නට ඔබෙන් ලද සවියයි 
වැටෙන හැම වර නැගිට ගන්නට ලබා දුන් දිරියයි 
මගේ දුක ළඟ ඔබේ නෙතු අග තෙමා ලූ කඳුළයි 
හිනා වෙන්නට කියා දුන්නේ ඔබේ නෙතු සඟලයි

කවා මසවුළු පුරා මා කුස දුකම ඔබ වළදන්නැති 
තනා මා ලොව සිනා සී ඔබ එදෙස බලමින් ඉන්නැති 
දරා ගත් දුක සදා කල්හිම ලොවේ කිසිවෙක් දන්නැති 
නවා මා හිස ඔබේ පා මුළ වඳිමි පින මට ඇති

Thursday, July 11, 2013

තරුව මමයි ඔබ ගාවම ඉන්න සඳවතී

මන්දාරම් අහස වගෙයි හඬන සිත මගේ
දරාන දුක සඟවා ගමි කඳුළු නැඟි ඇසේ
දුරින් බලා උන්නට ලං වෙන්න පින් නැතේ
හැමදාමත් හිනා වෙලා වෙන්ව යමු මෙසේ

දෙනෝදහක් ඇස් මග දිග දකින්නට ඇති
ඔය ඇස් මිස වෙන කිසිවක් මතක මත නැති
වදනක් වත් නොදොඩා දුන් සිනහා තොල් පෙති
මගෙ නොවුණත් මගෙයි කියා දරා ගමි නිති

හමුව සිනාසෙමු ලංවී ඉන්න පින නැති
හැම මොහොතෙම ලඟම රැඳෙමි සුළඟ හා එතී
එක කඳුළක් වත් හෙළන්න එපා දුක සිතී
තරුව මමයි ඔබ ගාවම ඉන්න සඳවතී

මා ළඟ ඉන්න ඒ මට ඇති


රෑ අහසයි ඔයා
තරු එළියක් වෙලා
පායන්නට පිනක් මට නැති

මල් කැකුළයි ඔයා
රොන් කෙමියක් වෙලා
ළඟ ඉන්නට පිනක් මට නැති

මද සුළඟයි ඔයා
මල් සුවඳක් වෙලා
දැවටෙන්නට පිනක් මට නැති

පිය දසුනයි ඔයා
රෑ සිහිනය වෙලා
මා ළඟ ඉන්න ඒ මට ඇති

පාර මතක නම් එනකල් බලා ඉන්නවා ...


ආයෙමත් අලුත් කඳුළක්
මෝදු වී දෙනෙත් අභියස
රූරලා වැටෙනු රිසියෙන්
බලා හිඳිනවා ....

සෝදලා හරින්නට දුක
ඉකි ගසා හඬමි වරුවක්
ඒ වුණත් තවම මතකයෙ
නුඹ හිනැහෙනවා ...

පාරලා යළි යළිත් මේ සිත
මතක මත රැඳී හිනැහෙන
සමු නොගෙන දුරක ගිය නුඹ
මගෙයි සිතෙනවා ....

මේ හිතම ඔබෙයි තාමත්
ආදරේ එදා වගෙමයි
පාර මතක නම් එනකල්
බලා ඉන්නවා ...

නෑ තව කඳුළු මා නෙත් විලේ ....

හොර රහසේ ඇවිත්
හිත ළඟ නැවතිලා
පෙම් කවියක් ලියා මා සිතේ
නැවතී ඉන්න ඉඩ ඉල්ලනා
කටකාර කුමරාණනේ ..

නෙතු කඳුලක් තියා
මා හිත් මල පෙළා
නුඹ දුර යාවි යළි හෙට දිනේ
දුක් කවියක් ලියා මා සිතේ
උණු කඳුළක් තියා නෙත් ඉමේ ....

රිදුනා එක වරක්
හැඬුවා මම හුඟක්
ඇයි ලං වෙන්නේ ඔබ මේ ලෙසේ
යළි රිදවන්න බෑ හිත මගේ
නෑ තව කඳුළු මා නෙත් විලේ ....

මාය ඔබගේ පෙම්වතී ..


හිරුත් ලොව නොදුටුව පැතී
සොයා සුළඟක් යයි නිති
එවන් සුලඟක එති එතී
ඔබේ හිත මත ඉමි නිති

අඳුරු රෑකදී සඳු නැති
කුමුදු සුපිපෙන්නේ නැති
කුමුද වී පිපෙනට නිති
ඔබයි මාගේ සඳවතී

සතුට වී නෙතු මත එතී
ඔබම සැමදා ඉන්නැති
කඳුළු ආවත් දුක හිතී
මාය ඔබගේ පෙම්වතී

අලුතෙන් කඳුළැල්ලක් එපා ගෙනෙන්න ....

සීතල ඇස් අද්දර
කඳුළු වේළුනා විතරයි
අලුතෙන් කඳුළැල්ලක්
එපා ගෙනෙන්න ....

උහුලපු දුක් ගින්දර
නිවිලා නෑ  තවමත්
අලුතෙන් දුක් කන්දක්
එපා දෙවන්න .....

සිහිනය නපුරුයි දුටු
පාරයි සිත සිය වර
අලුතෙන් හීන අරන්
හිතට නොඑන්න ....

කඳුළයි උරුමය මට
සිනහව නෑ දැන් ළඟ
අලුතෙන් හිනා මලක්
එපා පුදන්න .......

දෙව් සමිඳාණනේ ....



දරන් අත් දොළසක් ද හිස් හය වඩින මයුරා වාහනේ
තෙදින් බලගතු දෙනෙත් යොමනා සතට දෙව් සමිඳාණනේ
බැඳන් හිස අත් පුදා මොණරුන් තබා පුජා භාජනේ
සවන් යොමවා අසන්නෙද නුඹ ඔවුන් යදිනා කාරණේ

මවක් අවුදින් දෑත දරමින් වට්ටියක පලතුරු තියා
විභාගෙට තව සතියකුත් නෑ මගේ පුතු හට කිය කියා
මොණර කොළ යට ලොකුම  අකුරෙන් විභාගයෙ අංකය ලියා
යදී දෙවියන් නිසොල්මන් වී දෑස තද කර ගෙන පියා

සුදෝ සුදු ඇඳුමකින් සරසා දරා ගෙන මහ උදරයක්
අඳුරු කළ රථයකින් බිම බට සමග වට රැඳි පිරිවරක්
අයෙක් පීරා සෙනඟ පිය මැන දෙවිඳු අභියස පියවරක්
යදී ඇසෙනා නෑසෙනා ලෙස ලබා දෙන්නට යළි ජයක්

හඬා වැළපී ගසා හිස අත් කියන්නට තම වේදනා
ඉඩම් නඩුවට, තරග දිනුමට කී නොකී නෙක කාරණා
හිත් දරා ගෙන ගෙවා බෝ දුර ඔබ වෙතට ආ මේ දනා
රකින්නේ ඔබ කෙලෙස දෙවිඳුනි කිව මැනේ  මට කුළුනිණා

Friday, May 31, 2013

දුරින්ම ඉන්නම් එතකොට පුළුවන් හොඳින් බලා ගන්න ...

ආල හිනා ළඟ කෝල වෙලා මං බයෙන් බලන් උන්නා
දෑස පුරා රස රහස් ලියා නුඹ අලුත් හිනා දුන්නා
පාන හිනාවෙන් පාර කියා නුඹ අනන්තයක් මැව්වා
පාර දුරයි මට යන්න බයයි මං දෑස් පියන් වැහුවා

හිත හිරිවට්ටන ඔය ඇස් මානෙන් වහං වෙලා යන්න
දුකක් දැනෙනවා හිතෙන් අදිනවා ඔබේ ලඟින් ඉන්න
දාහක් ඇස් අප දිහා බලන් ඇති අපටත් නොදැනෙන්න
දුරින්ම ඉන්නම් එතකොට පුළුවන් හොඳින් බලා ගන්න

නාදුනන නුඹට ...

මගේ ඇස් ගැන මටත් වැඩියෙන් නුඹ කොහොම දන්නේ
හිනාවක් හිතවත් කමක් මිස කිසිත් නෑ දුන්නේ
ගමේ මා ගැන කතා හැදුනොත් කෝම ඉවසන්නේ
ළඟට නෑවිත් දුරින් උන්නොත් නෑ දොසක් වෙන්නේ

දිනක් දෙකකට වැඩිය මා නෑ තවම නුඹ දැකලා
එකක් දෙහෙකට වැඩිය වදනුත් නැතේ මා දොඩලා
නුඹ මගේයැයි කිසිම මොහොතක නැතේ මට දැනිලා
ඉතින් කෝමද නුඹේ වෙන්නේ නුඹට හිත පුදලා

අහම්බෙන් වත් දැක්කොතින් නුදුටුව ලෙසින් යන්නම්
දන්න අඳුනන කමටවත් සිනහා නොවී ඉන්නම්
ලස්සනයි ඔබ කී මගේ ඇස් ඔබෙන් සඟවන්නම්
ඉදින් මේ හිතවත්කමට මා මෙයින් සමු දෙන්නම්

Sunday, May 26, 2013

මම ඔබේ නොවී ජිවිතේ තව දුරක් මෙමට යන්න බෑ

මහමෙරක් තරම් ආදරේ
මේ හිතේ දරන් ඉන්න බෑ
ඔය ගලක් වගේ රළු හිතේ
මට ඉඩක් හොයා ගන්න බෑ
මගෙ පැතුම් කන්ද මහ බරයි
ඔබ ඒ ගැන දන්නේ නෑ
දන්නවා නම් මේ වගේ
දුරින් බලන් ඉන්නේ නෑ

ඇස් කතා කලත් කොයි තරම්
ඒ කතා කියා දෙන්න බෑ
මම කොයි තරම් ද ආදරේ
මටත් කියා ගන්න බෑ
මහ ගොඩක් කතා මේ හිතේ
තවත් තියා ගන්න බෑ
මම ඔබේ නොවී ජිවිතේ
තව දුරක් මෙමට යන්න බෑ

තරු හඳට පෙමින් ඉන්න බැව්
සඳුත් ගණන් ගන්නේ නෑ
ළඟ රැඳුනත් ආදරෙන්
ඔයත් මාව දන්නේ නෑ
මේ වැටෙන කඳුළු දැක්කා නම්
තවත් කඳුළු දෙන්නේ නෑ
මගෙ සෙනෙහස දැන ගත්තා නම්
ඔය වගේ දුරින් ඉන්නේ නෑ

පින්සාර පැතුම...

සංසාර සයුර එතෙරට පිහිනා ගෙන යන්න
මං ගාවම ඔබ ඉන්නැති මට සවියක් වන්න
හැමදාමත් මේ වාගෙම ඔබ සෙවණෙම ඉන්න
පින්සාර පැතුම් පුරනෙමි, හැකි වෙද ඉඩ දෙන්න

රන්මැලි සෑයට පුරපස සඳ පෑයුවා වගෙයි
හිත් යායම ඔබ සෙනෙහෙන් හැඩ වී රනින් දිලෙයි
මේ තරමට මා පින්වත් දැයි මටම සැක හිතෙයි
තව ලං වී ඉමු මේ ආදර ලොව ඔබෙයි මගෙයි

පොද වැස්සක් වී අවුදින් සරතැස නිවනා සේ
මද පවනක් සේ වෙළුනා ඔබ මා හිත් අහසේ
ඔබ හින්දා ලද උරුමය මුව නැඟි මදහාසේ
සැනහෙමි දිවිතුරු රැඳිලා ඔබ ලොව්තුරු පහසේ

හිත් යාය දිලෙයි ඔබ ආවම හීනයක් දිගේ

බිම් තඹරු මලක හිනැහෙන පිණි බින්දුවක් වගේ
හිත් යාය දිලෙයි ඔබ ආවම හීනයක් දිගේ
දේදුන්නක් පායනා ලෙසට නිල් අහස් ගඟේ
ඔබ එන්න ඇවිත් ලැගුම් ගන්න හද ඉමේ මගේ

දිගු දෑස කොනේ ලියා තිබුණු රහසක සැඟවී
ඔබ නොකී කතාවක් දුටුවා තිබුණා ලියැවී
මේ හීන කන්ද සැනෙන් මැකී යාදෝ බිය වී
නෙතු තදින් පියා ගමි ඔබ ළඟ ඉන්නට ගුලි වී

සුදු සේද වළාවක නැගිලා ඈතට පාවී
සිත දුරක ගියා මා උන්නා ඔබ හා තනිවී
උණුසුම් සුවයේ මොහොතක් වත් ඉන්නට නොමදී
අසුරු සැනින් ඒ සිහිනය මැකුනා දුක දී

දමා යන්නට බැරිව තවමත් ඔබම පතමින් ඉන්නවා


රිදෙන අහු මුළු සොය සොයා නුඹ 
සිතේ සෙල්ලම් කරනවා 
රිදෙන සිත හංගාන තව මම 
නුඹ නමින් පෙම් පුරනවා 

නැගෙන කඳුලැලි පිහ පිහා මම 
ඔබට සිනහා පුදනවා 
මටම හිනැහී යලි යළිත් නුඹ 
මගේ සිත් මල තලනවා 

නැගෙන හැම කඳුලක්ම ගානේ 
ඔබේ සිනහා දකිනවා 
දමා යන්නට බැරිව තවමත් 
ඔබම පතමින් ඉන්නවා

එදා සඳ ළඟ හිනා වුණු මං හඬමි රහසෙම තනිවෙලා













වෙසක් සඳ ළඟ නිදිවරා 
ඔබේ පෙම සිහිපත් කළා 
හිතම ඉකි බිඳ බිඳ හඬද්දී 
කඳුළු කවියක් ගොනු කළා 

සඳත් අහසේ හිනැහෙනා 
වෙසක් සිරි මැද ඔබෙ වෙලා 
සුරත් බැඳ අපි වෙසක් බැලු'යුරු 
සිහිව දෙකොපුල් තෙත් කළා 

අදත් ඒ සඳ පින් පුරා 
ඇවිත් අහසම එළි කළා 
එදා සඳ ළඟ හිනා වුණු මං 
හඬමි රහසෙම තනිවෙලා 

Wednesday, April 17, 2013

නිදි දෙව්දුවේ


නිදි දෙව්දුවේ ඇවිත් නිදන්න ඇස් පියන් මතේ 
මගෙ නින්ද හොරෙන් ගෙනිහින් ඔහු නින්ද ළඟ නැතේ 
කඳුලෙන් කවි පද සිත්තම් කරනාවූ මගෙ හිතේ 
නින්ද නැතත් මතකය මත අලුත් පද ගෙතේ 

ඉර ඇහැරුනාද එළි වුණාද වගක් වත් නැතේ 
සඳු හිනැහුනාට අඳුර මිසක් එළිය ළඟ නැතේ 
තනිකමට ලඟින් ඉන්නට උණු කඳුළු රැඳි නෙතේ  
ඔබ එන්න දෙව්දුවේ නිදන්න ඔබට ඉඩ ඇතේ 

හීනෙක දැවටී ඔහු ඒ යැයි කියා සිත සිතා 
නෙතු පියා ගතිමි නින්දක් නෙතු අහලකත් නැතා 
නිදි දෙව්දුවේ ඔබේ සියුමැලි පහස පත පතා 
මග බලමි ඉදින් හනි හනිකට වඩිනු මා වෙතා 

Sunday, April 7, 2013

සිර කරුවාගේ අවුරුදු පැතුම




දැන හෝ නොදැන කළ වරදින් පෙර දිනෙක
ගැණ හෝ නොගැණ දින ගෙවුණා කූඩුවක
සිර ගත වුවත් ගත සිර කළ හැකිද සිත
ඉපදී මියෙන සිතුවිලි වල නිමක් නැත

සඳුදා පොහොය දා ඉරිදා නැහැ වෙනසක්
ඉර පායන්නේ අරඹන්නයි නව දවසක්
මේ අඳුරෙන් මිදී ලබනට සැනසීමක්
අච්චුව ගෙවෙන තුරු නැහැ මට ඉවසීමක්

සිංහල අවුරුද්ද ඇත ළඟ එනවාලු
පෙර දා ගමේ කළ සෙල්ලම් සිහි වේලු
පස් වසරක් මටත් අවුරුදු නම් නෑලු
අවුරුදු දකින්නට මෙවරත් පින් මදිලු

අම්මේ, මා නමින් ඔය නෙතඟින් හැලුණ
කඳුලැලි පිසින්නට එන්නට මග බලන
මග වැරදුණු පුතා දකිනා සුබ සිහින
එළි වෙන දිනය ඈතයි වැළපෙමි දුකින

.. දුර යන්න එපා කඳුලක් රඳවා ..


සඳ වගේ දිලී ඔබ හිත් අහසේ
උන්නාට හොරෙන් සෙවනැල්ලක් සේ
සඟවන්න බැරිව පෙම් මදහාසේ
දුක දරා ගනිමි ලොවටම රහසේ
දැවටෙන්න හිතයි පෙර ලෙස දෑසේ ....

පුර පසට දිලුණු සඳුට පෙම් කළා
අව පසට ගියා සිත දුකෙහි හෙළා
ඔබ නමින් හැඬුව මුත් කඳුළු සලා
නොදුටුවා වගේ ගියා නික්මිලා
තව අලුත් කඳුළු නෙතට එක් කළා ....

සඳ මඩල වෙලා ඉන්නට පැතුවා
සඳ සැඟව සිතම අඳුරෙන් වැසුවා
දුර යන්න එපා කඳුලක් රඳවා
මේ හිතට වෙනින් සතුටක් නැතුවා
යළි ඒ ද ම'සිත මුමුණා ඇසුවා ...

දුක දරා ගනිමි සංසාරේ පින් නැතිවාට ...


මට හිනා වෙන්න අලුත් හිනාවක් ගෙන එන්න 
දුක කියා දෙන්න හිත හඬනා හැටි අහ ගන්න 
මට ඔබේ වෙන්න බැරි නම් මොහොතක් ළඟ ඉන්න 
ඔබ ඇවිත් යන්න හීනෙන්වත් මුහුණ සිඹින්න 

මන්දාරමට පෙර අඳුරෙන් අහස බර වුණා 
වැහි බීරමක් හොරෙන් අවුදින් පොළොවට වැටුණා 
සංසාර පැතුම් අකලට වට වැස්සට තෙමුණා 
නෙතු දෑල දිලුන සිහිනය එක මොහොතින් මැකුණා 

කවියක්ව හිතේ ලියැවී ඉන්නට පැතුවාට 
දුක දරා ගනිමි සංසාරේ පින් නැතිවාට 
සුව සදමි නිතින් සතපා ලය මඩලේ යසට 
සිහිනයක් ලෙසින් අවුදින් ළඟ ඉන්නා රෑට 

Tuesday, March 26, 2013

ජනපද කල්‍යාණියගේ අවනඩුව ..



සඳපාන සේ දිලෙන රූ සපුවට පෙම් බැන්ද
රන්දාන මිහිරි සිහිනෙක උදුරා ගෙන නින්ද
කැන්දාන යන තුරා මග බැලු මා හිමි නන්ද
උහුලාන ඉන්නේ කොහොමද මට දුන් දුක් කන්ද

සංසාරයෙම ළඟින් ඉන්නට දෑඟිලි ගැන්නා
රන් පාට සේළ දවටා මග බලාන උන්නා
මන්දාරමට පෙර අහසම අඳුරෙහි රන්දා
සංකා තබා කොහේ ගියෙදෝ මා හිමි සන්දා

දේදුන්න සේ හැඩැති අංජන තැවරූ නයනී
දෙව් දූ ලෙසින් ඔබම වැනු ඒ පියකරු සොබනි
වැළපෙමි හඬමි කඳුලැලි වගුරමි සොවිනි
මා නොවෙද හිමි සඳුනි හිත ගත් ජනපද කළණි

තෙමගුල් සිරිය රන්දා මුළු නුවර පුරා
මග බලමින් සිටියෙ හිමි සඳු වඩින තුරා
සමු ගෙන ගොසින් මා ගෙන් මුළු ලොවට හොරා
කිව මැන කෙසේ හිඳිමි ද මා මෙ'දුක දරා

Saturday, March 16, 2013

යශෝදර සේ සසර සරනට..


නියං සායට අලුත් වැස්සක් සුවය දෙන්නා වගේ
හමා ඇවිදින් ඔබේ සෙනෙහස නිවයි සරතැස මගේ
භවෙන් භවයේ එක්ව යන්නට නොනිමි මේ දිවි මගේ
දන්නවද නුඹ කොතෙක්දැයි මට ඔබේ සෙනෙහස අගේ

කලා වැව් දිය සලා හමනා සුළං රැළි මුමුණනා
ප්‍රේම ගීයකි ඔබේ සෙනහස මගේ හිත සනසනා
හොවා ලය හිස අසා ඉන්නට ස්වරය හද කොඳුරනා
පියා නෙතු යුග රැඳෙමි මොහොතක් කල්පයක් සුව දෙනා

සඳේ සිහිලස වගේ සිහිලයි මෙමට ඔබගේ සෙනේ
සුගායන සෙත් කවක් වාගේ දැහැමි සිතුවිලි ගෙනේ
පෙරත්භවයක ඔබම පතමින් ආවා වාගේ දැනේ
යශෝදර සේ සසර සරනට සිදත් ඔබ වුව මැනේ

Friday, March 15, 2013

නුඹ දුරක ඇදුනා ...


මහ හීන හුඟක් හිත මතට ගෙනත් 
ඇයි දුරින් බලන් උන්නේ 
නෙතු දෑල පුරා ඔය රුවම මවා ඇති 
බැව් නැතුවද දන්නේ 
ආදරෙන් හිනාවෙන ඇස් මත මොනවද 
හොරෙන් ලියා යන්නේ 
ඔය හිතේ ඉඩක් ගෙන ඔබෙම වෙලා 
හිනැහෙන්න බලා ඉන්නේ 

කතා කියන ඔය ඇස් දෙක අස්සේ 
ගොඩක් කතා ලියලා 
දුරින් බලා ගෙන සිනා සලන විට 
එන්න හිතයි දුවලා 
සියුම් ඇඟිලි තුඩු දරාන දෝතින් 
සුමුදුව පිරි මැදලා 
සපථ කරන්නම් භාවෙන් භවේ ඔබ 
මගෙම වෙන්න කියලා 

හීන් හිනා මුව මඩල පුරෝගෙන 
බලා හිඳිනු පෙනුනා 
ආත්මයෙම ඔබ මා සමගින් දුර 
එන්න ඇතැයි දැනුනා 
වාන් දමන පෙම් සිතුවිලි ගඟුලේ 
තෙමෙන්න මට හිතුනා 
හාංකවිසියක් නොදන්න ගානට 
නුඹම දුරක ඇදුනා