Thursday, April 16, 2015


වසන්තයට පූදින්නට
පෙරුම් පුරන මල් කැකුළක්
පෙමින් හිරු කිරණ විඳිනට
බලා ඉන්නවා..

ලපළු තුරු ලතා සිඹ සිඹ
දුවන සිහිල් මදපවනට
මල් කැකුළ සෙමින් රහසින්
සිතැඟි කියනවා...

වසන්තය ලඟයි, නෑ දුර
ඉදින් ඉවසනුව කැකුළිය
සෙමින් මුමුණමින් මදනල
දුරක ඇදෙනවා...

වසන්තය අරන් හිරු එන
අළුත් නැකතකින් මල්වර
වෙන්නෙමැයි සිතා ඉවසා
පියුම හිඳිනවා...

Friday, April 3, 2015

නුඹ නොදන්න ගොඩක් රහස් හිත මුමුණනවා ..

කීරි ගැහෙන මේ පපුවට
සවන් යොමා අහං ඉන්න
හැම හුස්මක් ගානේ නුඹ
නම කියවෙනවා...
නුඹ නොදන්න ගොඩක් රහස්
හිත මුමුණනවා...

කඳුළු පිරිණු මේ ඇස් යට
එක මොහොතක් සැඟව ඉන්න
නුඹේ නමින් ඇස් අද්දර
හීන පිරෙනවා...
කවදාවත් නුඹ නොදකින
පැතුම් මැවෙනවා...

ආලවන්ත පෙම් ගීයක
පද පෙළවී රැඳී ඉන්න
ඔබ නොදන්න කවි සහසක්
හිත ලියැවෙනවා...
ඔබෙ නාමෙන් ඒ පදවැල්
තොල් මුමුණනවා...

Sunday, March 8, 2015

~~~ගඟ සහ ගස~~~

ඈත සමනොළ මුදුන සිප ගෙන
රළුපරළු ගල් වල හැපී
සීත උණුහුම සමව විඳ ගෙන
සුවඳ සිඹ මල් වල පිපී
නෑර හැම රහසක්ම දැන ගෙන 
හමන මාරුතයෙන් කිපී
පාර සොය සොය සයුර හමුවට
ගලා යන්නේ කිම තෙපී...

පාරවන ගත හිරු ගෙ කිරණින්
එකම එක මොහොතක් මිදී
සිහිල සැනසුම සෙනෙහෙ විඳිමින්
නුරා සුව දැහැනෙන් බැඳී
ඔබේ ඇකයේ ලබැඳි සෙවනේ
නිරාමිස උණුසුම විඳී
අසුරු සැන නිම වීය නොදැනම
සයුර වෙත යමි සිත රිදී...

Friday, March 6, 2015

සත්තකයි ඔය හිතට තාම මං ආදරෙයි...

එක පරණ කවි පෙළක නුඹ මෙ'මට ලියපු
ඒ හීන ගුලි වෙලා තිබුණා අප බලපු
එකින් එක මතක් වී පැතුම් පෙර මවපු
අළුත් කඳුළක් ඇදුණි, කොපුලෙ නුඹ සිඹපු

හීනයක් වගේ ඇස් අරිද්දී මැකුණු
කොහේ නුඹ සැඟවුණි ද සොයයි සිත රිඳුණු
තාම සිත හොයනවා සුවඳ පෙර දැනුණු
පිසලන්න යළි ඒ ද කඳුළ ඇස නැඟුණු..

හීනයක් සේ මැකි
ගියත් නුඹ සිතිජයේ
සත්තකයි ඔය හිතට
තාම මං ආදරෙයි...

පාපොච්චාරණය..

දහස් ගණන් කවි ලීවත්
නුඹ ගැන මා හිත
ලියූ එකඳු කවියක් වත්
කිසිවෙකු දැක නැත

හැම දෙනාම දකිනු රිසින්
කවි පදයක් ලෙස
නුඹෙ නම මම ලියා තබමි
සීගිරි ගල මත

කාස්සපට පුළුවන් නම්
අඟනුන් රූ සිරි අඳින්න
දුරක් ගෙවා සීගිරි ගොස්
හැකි නම් සිතුවම් බලන්න
හිත තුළ තෙරපෙන සිතුවිලි
බැරි නම් කවියක ලියන්න
කැටපත් පවුරක් කුමට ද
සීගිරියට මට කියන්න...

කඳුළු පිරුණම මගේ ඇස් අග


කඳුළු පිරුණම තමයි ලස්සන
ඔබයි කීවේ මගේ ඇස් අග
ගොඩක් ලස්සන කරන්නද ඇස්
කඳුළු මට දී ගියේ සමු ගෙන

කවියා ගෙ බිරිය (නො)කී කව

නමක් නොමැතිව ලියූ නෙක නෙක
කවි ඇතත් කාමරේ හැම තැන
මා නමින් ලී එක කවක් වත්
ඒ ගොඩේ නම් හමු වුණේ නැත

උයන බත් පත රහ ද මන්දා
තේකෙ පැණි රහ මදි ද මන්දා
කිසිත් මට නොකියන සමින්දා
අළුත් කවියක පද ඇහින්දා

බිළිඳු මොර දී හඬන හන්දා
සම වැඳී හුන් දැහැන බින්දා
මදක් ඇසි පිය ගැසු සමින්දා
යළිඳු කවි ලොව සිහින ඇන්දා

ඔබ මගෙයි මාගෙ විතරයි මේ හීන මගෙම හන්දා...

ඔබ ඔබේ නොවෙන හින්දා
ඔබ මගේ වෙන්නෙ නෑ
ඒ නමුත් මං නුඹේ මයි
මං මගේ නොවෙන හින්දා...

හඳ අහසෙ දිලෙන හින්දා
එය අයිති අහසටයි
ඒ නමුත් සඳ දියේ නැහැවෙමි
පොළොව සිඹින හින්දා..

මල පිපී වැනෙන හින්දා
එය අයිති නටුවටයි
ඒ නමුත් මල් සුවඳ විඳිනෙමි
සුළඟ ගෙනෙන හින්දා...

රැය දිගුයි සිහිනයක් වී
ඔබ සිතට එබෙන හින්දා
ඔබ මගෙයි මාගෙ විතරයි
මේ හීන මගෙම හන්දා...

කඳුළු ඇයි බර මේ තරම්

කඳුළු ඇයි බර මේ තරම් 
ඇහි පිල්ළමට රිදෙනා තරම් 
කොපුලත තෙමා - හිත දව දවා 
ගිලිහෙන්නෙ ඇයි සිහිලස දෙවා 

සුසුම් ඇයි රළු මේ තරම් 
සිත සියුම් තැන් පාරන තරම් 
හද ස්වර පවා - සුසුමෙන් වෙලා 
ගිලිහෙන්නේ ඇයි සිත රිදවලා 

ඔබෙන් ලද පෙම මේ තරම් 
මට නපුරු කඳුළක් වූ තරම් 
මට මා පවා - හිමි නැති කළා 
ඔබ මගෙන් හිත ගෙන ඉගිලිලා

පාට නොමැති ආදරයක් සොයා වෙහෙසෙමි...

පාට මල් පිපුණු උයනෙක
නේක පාට මල් මැද හිඳ
ආදරේ පාට කිම්දැයි
සොයා වෙහෙස වී..
පාට සොයා ගනු නොහැකිව
තනිව වැළපෙමි...

සෑම දාම මල් උයනට
ආදරේ සොයා පියඹන
පාට පාට සමනළයෙක්
නෙතට හසු වුණි..
ආදරේ පාට කිම්දැයි
උගෙන් විමසමි...

පාට මල් වඳුළු අතරේ
පාට නැති මලක් හිනැහෙයි
ආදරේ එයයි මා පැතු
කියා පැවසුණී..
පාට නොමැති ආදරයක්
සොයා වෙහෙසෙමි...

~~~~දික්කසාද පෙම්බර වළප~~~~

කුලගෙයි බැඳුම් බිඳිණු නොහැකි
පතිදම් පුරන්න කැපවී
නුඹ හා පෙමින්ම නික්මී ආ
මන්ද්‍රි දේවි මා..

දුක සැප ද එකම ලෙසිනී
විඳ ගන්න දිරිය ලදිමී
නුඹ පෙමට දිවිය කැප කර ආ
මන්ද්‍රි දේවි මා..

දරු සෙනේ පිරුණු ලයෙහි
කකියනා රිදුම් නුඹෙනි
සඟවලා නුඹට දිරි වූ
මන්ද්‍රි දේවි මා..

සරා සසර මගදී
නුඹ ගියා කියා දුක දී
නැති සෙනේ බිඳක් අඩු වී
මන්ද්‍රි දේවි මා..

යළි ඔබේ සෙවනෙ සැනහී
හිනැහෙනා දිනක් සොයමි
ඔබ නමින් පෙම් පුරා වැළපෙන
මන්ද්‍රි දේවි මා



තවම ඔච්චම් මොකද මගෙ හිතත් එක්කලා...

කඳුළකට පොඩි ඉඩක්
ඇස් කොනේ රන්දලා
හිනාවක් මග බලයි
නුහුරු නෙත හැංගිලා
පෙර මතක මත හිදන්
හිත යළිත් රිද්දලා
තවම ඔච්චම් මොකද
මගෙ හිතත් එක්කලා...

කවියක්ව ආදරෙන්
හිත පුරා ලියවිලා
උන්නු හැටි අමතකද
සුළැඟිල්ලෙ දැවටිලා
මතක විතරක් මගේ
තනි හිතට පවරලා
දුර ගිහින් මා දමා
ඉනු හැකි ද හිනැහිලා...

මලක් සේ රකින්නෙමි
කියා මට දිවුරලා
සදාකල් මා ඔබෙයි
සවන් මත කොඳුරලා
සපථ කර මා දමා
මගෙන් දුර පියඹලා
හිනාවෙන්නේ කොහොම
මගේ හිත රිදවලා...

Thursday, January 30, 2014

මතක අමතක කරනෙමි ...

හුදෙකලා තනි මංසලේ
අයාලේ ගිය ජීවිතේ
ඔහේ සුළඟේ ගසා යාදෙන්
කොහේ හෝ ඈතක් සොයා ...
ඔබේ නෙත් මානෙන් එහා ....

උණු කඳුළු වැස්සේ තෙමි
සුසුමකින් සිත සලිත වී
හදේ ගැඹුරෙම රිදුම් දේවී
මටත් රහසෙන් ඉකි ගැසී
ඔබට පිදු පෙම මිළින වී ....

සුළඟක් ව සිහිලස මට දිදී
සුවඳක් ව දිවියෙම ළඟ හිඳී
දුර ඉන්න සනසමි සිත නිති
ඔබ හින්දා මා විඳී දුක් ඇති
ඒ මතක අමතක කරනෙමි .....

සිත ඔබගෙයි ප්‍රියේ ... දැන් ලං වෙමු මෙසේ ...

දුක හංගාන ඇස් අස්සේ
හිනැහෙන්න බෑ ..
මේ හිත හඬන බව තාම
ඔබ දන්නේ නෑ ...
උණු කඳුළු බර හිතට
උහුලන්න බෑ ..
මගෙ දුක දන්න ඔබ
ඔහොම දුර ඉන්නේ නෑ ...

මට උණුහුමට සැඟවෙන්න
ඔය පපුතුරේ
ඇයි තව නාවෙ පිසලන්න
කඳුළැල් මගේ
හිත මාගේ ඔබ ගාව
දන්නෑ  වගේ
තව දුර ඉන්නේ ඇයි මෙහෙම
ඉවසනු කෙසේ ...

සිත ඔබගෙයි ප්‍රියේ ..
ඇයි දන්නෑ වගේ ...

ලිහිණින් ද මුමුණන්නේ
රෑ මැදියමේ
ඔබ ගැනමයි ඉතින් නොඑද
කඳුලක් ඇසේ
ඔබ ලං වෙන්න දුර ඉන්න
බෑ තව මෙසේ
හෙට හිරු ඒවි ඔබ අහස
වූවොත් මගේ ...

සිත ඔබගෙයි ප්‍රියේ ...
දැන් ලං වෙමු මෙසේ ...

ඔබ එන්න ආදරෙන් මගෙ නොවී මගෙ වෙන්න ......

හුස්මකින් හිත නිවා
හදෙහි රිද්මය අසා
ඇහි පිල්ලමක් යටින්
ජිවිතේ කියවන්න ..
ආදරේ විඳ ගන්න ..
පපුතුරෙහි හිස හොවා
ඉන්න මට හිතෙනවා
එකම එක ඇසිල්ලක්
ලෝකයෙම ඇස් වසා .....

උර මඩලේ සුව සොයා
නෙතු පියන් පත් පියා
හද ගැහෙන රාවයෙන්
ගීතයක් මුමුණන්න ..
ආදරේ විඳ ගන්න ..
ඔබ ලඟම දැවටිලා
ඉන්න මට හිතෙනවා
එකම එක ඇසිල්ලක්
උණුහුමට ගුලි වෙලා .....

වැටෙන හැම හුස්මකම
සිහිලසෙන් නැහැවෙන්න ..
ඇස් කෙවෙනි අග ලියු
ආදරේ ඇහිඳින්න ..
ඇඟිලි තුඩු උණුහුමෙන්
මොහොතකට ගුලි වෙන්න ..
ඔබ එන්න ආදරෙන්
මගෙ නොවී මගෙ වෙන්න ......

පරාජිත පෙම් කවක් පබඳිමි ගලා යන කඳුලක් දරන්


දවා .....හදවත පලා ගිය රුදු සලෙළ කුමරෙකු ගේ .........නමින්
මවා ....කුමට ද සිහින මන්දිර හලා හල කඳුලක් ..........බොමින්
නිවා ....සිත තුළ නැගුණු ගින්දර විඩාපත් සිත .........  .සනසමින්
ගෙවා ..ගවු දුර සොයා යනු මැන නවමු වූ අරුතක් ........පෙමින්

සරා ....සිහිනෙක දිවා රැයෙහිම මැව්ව පැතුමන් සුන් .......කරන්
නිරා ....මිස සුව සොයා ගිය පෙම් සිහින අහුරම ගිනි .........අරන්
මරා ....මතකය දවා හළු කර මකා සලකුණු කර ...............තුරන්
පරා ....ජිත පෙම් කවක් පබඳිමි ගලා යන කඳුලක් .............දරන්

අමා .... වක මිස සරා සඳ නෑ මගේ විජිතයෙ ...........දිලෙන්නේ
දමා .... අත්හැර යන්න නොහැකිව මතක සිත ඉකි ......බිඳින්නේ
පමා .... වී ආ වසන්තය නුඹ කඳුළ මට තනි ...............රකින්නේ
සමා .... වුව මැන හිතේ නෑ යළි ආල සිතුවම් .........මැවෙන්නේ

වළා .....යහනෙන් මිදී විත් සඳ අඳුර කළඑළි ...............කරනවා
මලා .....නික තරු වලින් සඳු නැති රෑක ඝනදුර ............මකනවා
ගලා .....ගිය උණු කඳුළු තවමත් මගේ හදවත ............පෙළනවා
හෙලා ...සුසුමක් සිනාසුන මුත් හෙටත් කඳුළක් ........තියෙනවා

තැලී ....පරවුණු මලෙක නෑ කිසිලෙසක සුවඳක් .......දෙවන්නේ
හැලී ....ගිලිහුණු ළපළු මල් පෙති නෑ මලක් යළි ........තනන්නේ
ගැලී ....අඳුරෙම බලා ඉන්නම් ඉරක් නෑ හෙට .......නැගෙන්නේ
දිලී .....ඈතින් සිනාසෙනු මැන නෙලා ගනු බැරි .......කමින්නේ

සියුමැලි හිතක් කැළඹුව තරම් ....

එක හාදුවක්
දිගු හීනයක්
සියුමැලි හිතක්
කැළඹුව තරම් ....

හැඩි දැඩි හිතක්
සියුමැලි බවක්
එක මොහොතකින්
පෙන්නුව තරම් ...

හිත මත යළිත්
අළුතෙන් කවක්
දී එක සැනෙන්
හිත ගත් තරම් ...

හරි ආදරෙන්
ඔබ ළඟ යළිත්
ඉන්නයි හිතන්
දුක් වෙන තරම් ....

එක හීනයක්
නෑ... සැබෑවක් වී
එන්න නොහැකිද
ආයෙමත් ...

ඉතින් සමු ගමු නෙතින් ආයෙත් කිසිත් රහසක් නොකියලා ....

දහක් ඇස් මැද
රහස් කොඳුරන
ඔබේ ඇස් ළඟ නැවතිලා ..
දුරක් යන්නට
බහක් දෙන්නට
බයේ මගෙ හිත ගොළු වෙලා ...

නිමක් නොවෙනා
පැතුම් කන්දක්
ගෙනත් මා නෙත් රවටලා ..
කිසිත් නොකියා
ඔබත් යාවි ද
අළුත් කඳුලක් තවරලා ....

යළිත් කඳුලක
සියුම් රිදුමක්
දරමි කෙලෙසද තනි වෙලා ..
ඉතින් සමු ගමු
නෙතින් ආයෙත්
කිසිත් රහසක් නොකියලා ....

මගෙ අප්පච්චි ....


සතුටකදිත්
හිනා නොවෙන
දුක හංගන්
බලා හිඳින
මුවින් එකදු වදනක් වත්
නොදොඩා මුනිවතම රකින
නමුත්
දරු පෙමින් සිත යට
දස දහසක් බස් තෙපලන
අපෙ අප්පච්චි

ඉරට වඩා එළිය බෙදන
සඳු වාගේ සිසිල සදන
දිරිය වෙලා ලඟම රැඳෙන
අපෙ අප්පච්චි ..
විසල් අහස ඔබමයි මට
මගෙ අප්පච්චි ....

දහදිය උණු කඳුළු හලපු
රහසින් හැම දුක් උහුලපු
මලක් වගේ අපව හදපු
අපෙ අප්පච්චි...
මුළු ලෝකෙම ඔබමයි මට
මගෙ අප්පච්චි .....

ගීත පද මුමුණනා අම්මා ...


කන්තෝරුවේ හවස
තේ වෙලාවෙ දී දුන්නු
විස්කෝතු දෙක හොරෙන් හංගා
ගෙදර ගෙනවිත් සුරැක
මයෙ පුතේ කාපන්ය
ම'වෙත දුන්නේ මගේ අම්මා ...

බඩ වැටියේ ඇවිදිමින්
සොයා ගෙන විත් ගහල
මගේ කුස පුරවනා තම්බා
අල්ල කා කහට බී
සීනි වැඩිපුර දැමූ
කිරි තේක මට දුන්නු අම්මා ...

කඳුළු කැට දිළිසෙනා
ඇස් වහං කර මගෙන්
මුව මතට සිනහවක් නංවා
රෑට ඉහ අද්දරින්
රෑහි හඬ නොඇසෙන්න
ගීත පද මුමුණනා අම්මා ...

ලෙංගතු හිත හසරැල්ලක දවටලා - එවනු හැකි ද මා ඉන්නම් මග බලා

හිමින් ඇවිත් හිතේ ඉඩක් ඉල්ලලා
හොරෙන් වගේ හිත පුරාම රිංගලා
අමුතු හැඟුම් මගේ හිතේ වපුරලා
යන්න එපා දැන් නම් හිත රිදවලා

ගොඩක් කතන්දර බැල්මක සඟවලා
හිනාවකින් නොකියූ බස් අඟවලා
දුරින් බලා ඉන්නේ ඇයි හිනැහිලා
අලුත් කතාවක් ලියමු ද එක් වෙලා

හදේ නැගුණු ආල හැඟුම් කලතලා
ලෙංගතු හිත හසරැල්ලක දවටලා
රැක ගන්නට දිවි තෙක් වෙනතක නොලා
එවනු හැකි ද මා ඉන්නම් මග බලා

රිදුණු සිතින් කවි ලියමි ඉතින් මම ...

විලංගු ලා සිත
තබා ගනිමි යළි
ඔබට නොඑන්නට
සිහිනෙන් වත් ...

නුමුදු සැණින් නුඹ
සිතට ඇවිත්
කොඳුරනවා පෙම් කවි
සිහින් සරින් ....

සොඳුරු දසුන් පිරි
මතක මැදින් නුඹ
කොනිති ගසනවා
ඇවිත් සෙමින් ....

රිදුණු සිතින්
කවි ලියමි ඉතින් මම
මිහිරි මතක මත
සැඟව හොරෙන් ........

ඔබ සෙවනේ ලැඟුම් සොයා මම එමි රහසින් ......

ඇස් අග රැඳි
හිත යට හිඳි
ලොවට හොරෙන් සඟවා රැකි
තවමත් නුඹ හට නොකීව
එනමුත් නුඹ හොඳින් දන්න
අපේ කතාවක්
මුමුණමි රහසින් ....

සඳ තරු ඇති
ඝනදුර ඇති
තනිකම බිඳුවක් වත් නැති
පාළු සීත රාත්‍රියක
සිහිනය විලසින්
ඔබ සෙවනේ ලැඟුම් සොයා
මම එමි රහසින් ......

Wednesday, December 4, 2013

මගේ තාත්තා ....

දැල් ගහපු බස් එකෙන්
මාසෙකට වතාවක්
මා බලන්නට එන
අපේ තාත්තා ..

යකඩ කූරු මැද්දෙන්
මා දිහා බලා ගෙන
කඳුළු කැට පිහිදනා
මගේ තාත්තා ...

විලංගු ලු අත් වලින්
මගේ හිස අත ගගා
රජෙක් වීයන් කියන
මගේ තාත්තා ...

අපේ ගෙදරට නොඑන
එතැයි මා මග බලන
හිර ගෙදර දුක් විඳින
මගේ තාත්තා ....


පුංචි එකී මං ...

සුදු කොට රැළි ගවුම ඇඳලා
කොණ්ඩ කරල් දෙකක් ගොතලා
දෙවැට දිගේ අකුරට ගිය
පුංචි එකී මං ...

අරලිය ගය උඩට නැගලා
පොකුරු පොකුරු මලුත් නෙලලා
උදාසනම පාසල් ගිය
පුංචි එකී මං ...

සමනලුන්ට රහස් කියලා
බත් කූරන් නූල් බැඳලා
ලන්ද දිගේ දං කඩාපු
පුංචි එකී මං ....

කොලු රෑනේ මැදට පැනලා
වෙල් එළියේ එල්ලේ ගහලා
තාත්තට හොරෙන් ගෙට ගිය
පුංචි එකී මං ......

ශිෂ්‍යත්වය හොඳට ලියලා
මහා ඉහළින් ලකුණු ලබලා
ගමෙන් සිදාදියට ආව
පුංචි එකී මං ....

සමනල් හිත ගමේ තියලා
සිදාදියේ අකුරු කරලා
ගමේ යන්න පාර හොයන
ගමේ එකී මං ...

එන්න හිතේ ලැඟුම් ගන්න සිහිනයෙන් මිදී...

හෙමින් ඇවිත් ලැගුම් ගන්න ඔබේ හිත මතින්
කලක් බලන් හිටියා දුක දරා ගෙන සිතින්
අකල් වැස්ස ලෙස හිත වෙත ඇද වැටි සැණින්
අලුත් පෙම් කවක් මුමුණන් නම් ද දැන් ඉතින් ..

දුරක් යන්න අත අල්ලා ගන්ට සිතෙනවා
කොතෙක් දුක දරන්ට වෙද මසිත අහනවා
දහක් කතා ඔය ඇස් යට රහස් කියනවා
පෙමක් එපා තනිකඩ හිත මට මුමුණනවා

අහංකාර එක බැල්මක හිසරය වැදී
මගේ හිතත් දැන්නම් ඇත හොඳටෝම රිදී
කෝලිත්තම් කතා එපා හිතට දුක නොදී
එන්න හිතේ ලැඟුම් ගන්න සිහිනයෙන් මිදී .....

Wednesday, October 2, 2013

දිවිතුරා ඔබයි ඔබ පමණයි ආදරය මගේ ....


සඳ තවම නාඹරයි
පිණි වැස්ස සීතලයි
නුඹ ලැගුම් ගත්තු මේ හිත යට
හරිම උණුහුමයි
ඒ ආදරේ තමයි ....

ඉර ඇහැරෙනා උදේ
මල් සුවඳ සේ වෙළී
සිත පුරා රඟන ඔබෙ සෙනෙහස
ජිවිතේ මගේ
ඇස් පියන් වැසෙන තුරු ඔබමයි
ආදරය මගේ ....

තරු හිනැහෙනා රැයේ
මද අඳුර හා එතී
සිත පුරා දුවන ඔබෙ සෙනෙහස
ජීවිතය මගේ
දිවිතුරා ඔබයි ඔබ පමණයි
ආදරය මගේ ....

සිදංගනාවි ......



රෑ දොළොස් පැයේ නොනිදන
තුන් තිස් පැය දුගඳ හමන
මුඩුක්කු රජ මාලිගාවෙ
සුරංගනාවී ......

උලා දෙතොල් මත රත් පැහැ
කොපුල් මත පුයර තවරා
දෑස් කොනෙන් බැලුම් හෙළන
සුරංගනාවී .......

මරියකඩේ වංගුව ළඟ
දෙමළ සින්දුවක් කිය කිය
අසුපිට එන  කුමරු පතන
සුරංගනාවී .....

තුට්ටු දෙකට ඇඟ විකුණා
මල්ලක් බඩු ගෙදර ගෙනත්
දරුවන් කුස ගිනි නිවනා
සිදංගනාවි ......




දිව එන්න හිතෙනවා ඔබ සෙවනෙ දැවටෙන්න

සඳ දුරින් දිලුනාට එහි සිහිල විඳ ................ගන්න
තරුවකට පුළුවන්ලු හෙමි හෙමින් ලං ......වෙන්න
දුර වුණත් ඔය හිතේ පෙම් සිහිලෙ ....සැනහෙන්න
දහක් බැමි බිඳ දමා හිතෙනවා මට ..............එන්න

දේදුන්නෙ සත් පැහැය නෙත් ඉමේ ......තවරන්න
අත පොවන මානයේ ස්නේහ සුව ........ගවසන්න
මියෙන තුරු ජිවිතේ එකට හිඳ ........සැනහෙන්න
දිව එන්න හිතෙනවා ඔබ සෙවනෙ ....දැවටෙන්න

දෙතැන හිඳ වැළපෙනා තනිකමට ......සමු දෙන්න
සඳක් සේ බැස නොයා හිත් අහසෙ ....සුදිලෙන්න
ඔබේ වී හැමදාම පෙම් සුවේ ................විඳ ගන්න
සඳවතිය එන තුරා තරු කැකුළු ...........ඇහිඳින්න

තුන් හිතක නෑ මගේ පෙම් හිතක් ........රවටන්න
ලං වුණේ දිවිතුරා ඔබෙම වී ළඟ .............ඉන්න
හාදු වැස්සක් කොපුල් තල පුරා ..........අතුරන්න
සත්තකයි ඉක්මනින් එන තුරා ..........ඉවසන්න

මතකයි තවමත් හිනා වුණා පුංචි ඇස් වලින්

මගෙ මතක මහ ගොඩයි
ඒ හැම මතකෙම හැම මොහොතෙම
ඇත්තෙ එක දෙයයි ..
ඒ ආදරයෙන් රහස් කියන
ඔබගෙ නෙත් දෙකයි ....

දුර ඈත දවසකදී හමුවී
නාදුනන ලෙසින්
මතකයි තවමත් හිනා වුණා
පුංචි ඇස් වලින්
ඔබ ගියා දුරක හිත තියලා
මගේ ඇස් ලඟින්
යළි ඒද සිතා හැඬුවා
මුළු රැයක් මා දුකින් .....

මල් හීනයක් වගේ විත්
හිත ගාව සිනා සී
මහ ගොඩක් ආදරේ දුන්නා
ඔබ මගේම වී
ඒ මතක සිතුවමක් විලසින්
සිත යට තෙරපී
යළි යළිත් සතුටු සෙවනැළි
සිතුවමට නගාවී ....

මට ආදරෙයි ද දැන්වත් එක වරක් කියන්න ....

ආදරේ සොයා ගෙන මා හිත
ගොඩක් දුර ගියා
ඒ යනෙන අතරමග තැනකදී
නුඹත් හිනැහුනා
එක වරක් දැක්ක නුඹේ නෙත් දෙක
යළිත් සිහි වුණා
මේ සසරෙ පුරුදු සුහද බවක්
ඇතැයි වැටහුණා ....

ඔය ඇස් කොනේ ලියා ගෙන
මහ ගොඩක් කතන්දර
හිනැහුණේ ඇයි මෙහෙම
මගෙ හිත මගෙන් දුරස් කර
යළි යළිත් දකින්නට ඔය නෙත්
පතයි දහස් වර
හිත හදා ගන්න බෑ ඔබ රුව
මැවෙයි නෙත'ද්දර

මට මතක් කරන් මුළු දවසම
සිනා නගන්න
එක හිනාවකුත් ඇති මා හිත
විඩා නිවන්න
ඔබ නොදන්නවා වාගේ ඇයි
එපා දවන්න
මට ආදරෙයි ද දැන්වත්
එක වරක් කියන්න ....

ආදරේ එවන්නද මං ඔබ වෙතට හොරෙන්


මාරුතේ ..පුරා ගවසා හාදු වැස්සකින්
ආදරේ ... එවන්නද මං ඔබ වෙතට හොරෙන්
පාළුවේ ... තනිව ලතැවෙන ජිවිතේ නුඹෙන්
ස්නේහයේ .. සතපවන්නට සොඳුරු ඇස් යටින්

ආදරේ ...කිමැයි නොදන්න ළදරුවෙකු ලෙසින්
ජිවිතේ ...සොයා නැවතුනෙ ඔබ ලඟයි සැනින්
වේදනා ..සයුර කළඹා කොපුල් තල මතින්
සීරුවේ ...ගලන කඳුලට වැට බඳිමු ඉතින්

තාරකා ...පවා නිදියන රැක සීරුවෙන්
භාවනා ....කරන්නම් හිස තියා ලය මතින්
පායනා ....හිරුට කලියෙන් දෙතොල් ආදරෙන්
පාරලා ....නිදමු තුරුලෙම උණුහුමට සොඳින්

නුඹයි සිත සැනසුවේ හැමදාම දුක දැරුව ...

දොඩමළු ඇස් ගාව
හිතේ දුක ගුලි කරන්
නොපෙනෙන්න දුර යන්න
හිතෙනවා රත්තරන්
අපි අපට මේ තරම්
පෙම් කරන බව දැනන්
ලෝකයම එරෙහි වෙයි
මගෙ නමින් අවි දරන් ...

හිතේ දුක හිත යටම
තියා ගන්නේ නැතුව
මං නුඹට කිව් නිසා
බිඳක් වත් අඩු නැතුව
කඳුලකට නෙතු කොණේ
හිනැහෙන්න ඉඩ පැතුව
නුඹයි සිත සැනසුවේ
හැමදාම දුක දැරුව ...

කාටවත් නොදැනෙන්න
මං නුඹට පෙම් කළා
ලෝකයට අපි අපව
දන්න බව සඟවලා
ඒ නමුත් මගෙ හිත
හඬන බව දුක් වෙලා
නුඹ තවම දන්නේ නෑ
හිඳිමි මං ගොළු වෙලා ...

තෙවසරක වෙනස අප
අතර බැම්මක් වෙලා
තිබෙන හින්දා සිතින්
පෙම් කරමි තනි වෙලා
ඔබ කියා දුන් ලෙසම
මහ ගොඩක් නොහිතලා
සැහැල්ලුව හිඳින්නට
දිරි ගනිමි ඉවසලා ....

දිනක් ඒද ඔය තුරුලේ සැනහෙන්න ...

සඳත් ...ඔබයි හිරුත් ඔබයි මගෙ ......ලොවට
තරුත් ..ඔබයි සඳු නැති ඝන ...........කළුවරට
අදත් ...හෙටත් හැමදාමත් ළඟ ............ඉන්ට
තවත් ..සෙනේ දුන මැන හිත .........උතුරන්ට

අලුත් ....හිනා කැකුළක් මුව ...........ගවසන්න
හෙටත් .උදාසන එනවද .................පවසන්න
කවිත් ...නැතේ පෙම මිස සිත .......සනසන්න
ඔබත් ...සදා මගෙ නේදැයි ............පවසන්න

සඳක් ...වෙලා ඔබෙ ලෝකය .........සරසන්න
මලක් ..ලෙසින් හද අරණේ ..........සුපිපෙන්න
රැයක් ...පුරා ළඟ හිඳ කවි .............මුමුණන්න
දිනක් ...ඒද ඔය තුරුලේ ............සැනහෙන්න

දරා ගන්න නම් බෑ මට මගෙ හදවත රිදුණු ...

රිදවා සිත හඬන කලට අනුකම්පා නොකර
හිත හැදෙන්න එක වදනක් වත් කියන්නේ නැතුව
කේන්තියෙන් මට බැණ බැණ මගෙ හිත් මල තැලුව
මට මතකයි හිනා වුණා නුඹේ ඔය ඇස් රතුව

තනිය සැපයි, මාව එපා මට යන්නට කියපු
නුඹම කිමැයි දුක් කවියක් මේ හැටියට ලියනු
කඳුළු බරයි නෙතු අද්දර නුඹට හොරෙන් උනපු
දරා ගන්න නම් බෑ මට මගෙ හදවත රිදුණු

දිවි ඇති තෙක් කවදාවත් තනි නොකරමි කියලා
තිබුණා මතකයි ඉස්සර එවූ හසුනක ලියලා
සැනසෙන්නට ඔබ මිස වෙන පැතුමක් නෑ පතලා
යළි එන්නම් ඉනු හැකි නම් මගෙ හදවත නොතලා

මේ දුක දරමු රහසින් අපි .....

මල් හීන රන්දාන හැමදාම ඉඟි පාන
ඔය දෑස සිහිනෙට එබී
දුක හිතෙන හැම රෑම කඳුළකින් නෙතු වසන
මතකයක සිතුවම් අඳී ...

දුර යන්න සිතුවාට ළඟ වාගේ දැනුනාම
සුසුමන් ඇවිත් ලය පිරී
කඳුලක් උනයි නෙතු තෙමී ....

පෙම් හීන දුටුවාට පෙම් ලෝක මැවුවාට
පෙර පවට අපි අපෙ නොවී
මේ දුක දරමු රහසින් අපි .....

හෙට ආයෙත් කවකට මතකය වන්නට හැකි ද ..

මහ ගොඩක් පැතුම් අරගෙන සඳු අදත් .............ඇවිල්ලා
යළි යන්න යාවි හෙට උදයෙම දුක මට ................තියලා
මුළු රෑ පුරාම සඳ එළියේ දුක් කවි ........................ලියලා
ඔබ දන්නවාද දැන් මගෙ හිත හොඳටම .............ගෙවිලා

සඳ කුමටද අහසට ඝන අඳුරක් .........................නැතිනම්
තරු මල් පිපුණට සද නැති රෑ නැහැ නොවැ .........මනරම්
කවි වැල් ගෙතුනම හිත මත නිදි වරමින් ............තුන් යම්
ඔබ නැති එකමෙක කවියක් වත් වෙද සොයනෙමි ....මම්

දුක සගවා ගෙන සතුට එවමි කවියක ...................ඔතලා
ඒ කවිය ඒවි උඩු සුළගේ ඔබවම .....................සොයලා
හිත සතුටු කර එක ආදර වදනක් .........................ලියලා
ඒ කවිය නැවත එවනු හැකිද මා වෙත ...............පෙරළා

සදු නාවොත් මේ අහසට රෑ එළියක් .................කොහි ද
තරැ දාහක් පෑයූවත් සදු වාගේ ............................හැඩ ද
දුක නැතිනම් කවි සිත ලග කවියක් හැඩ ............වෙයි ද
හෙට ආයෙත් කවකට මතකය වන්නට .............හැකි ද

කියලා දෙන්න මං දන්නේ නෑ ...

හිමිදිරියෙ පිබිදිච්ච
ගැට පිච්ච පෙති අතර
හිඳ හිනැහෙනා
පිණි බිංදුවක් මෙමට
ඔච්චම් කළා ...
ඇයි හිනැහෙනේ
තනියෙන් කියා ...

ඉර ඇහැරෙන්නටත් පෙරම
හිත් පොඩියෙ ගුලි වෙච්ච
ඔබෙ සුවඳ මේ යැයි කියා ...
මට හිනැහිච්ච පිණි දන්නේ නෑ ...
කියලා දෙන්න මං දන්නේ නෑ ...

රෑ හීනෙන් ඇවිත් නිතර
තුන් සිත පෙමින් වෙළන
ඔබෙ සෙනෙහෙ මෙතෙකැයි කියා ..
මට හිනැහිච්ච පිණි දන්නේ නෑ ...
කියලා දෙන්න මං දන්නේ නෑ ...

.... පෙරහර වරුණ ......



ගිගුම් දී ගුවන් ගැබ සියක් කස ............ලෙලවෙතේ
අතින් අත පහන් සිළු රැඟුම් දී ...............කැරකෙතේ
මගුල් බෙර හඬින් දෙව් බඹුන් පොළොවට .....එතේ
රැඟුම් දැක අත් බැඳන් සාදු නද ..................පතුරතේ

පසඟ'තුරු නද පතුල මුළු නුවර දස ...............දෙසේ
මවන සිරි නිතැතින්ම කඳුළු පුරවයි ...............ඇසේ
මෙ'සිරි සිරිලක දි හැර ලොවේ දකිමුද .........කෙසේ
සාදු නද සිව් දිගින් යළි යළිත් මට .................ඇසේ

සක් නදින් සිත් පුරා බොදුනු බැති ..............පුබුදුවා
දන්ත ධාතුව ගිජිඳු සිරස මත ....................පළඳවා
කල් වැසිත් දී දනන් රකින්නට ...................රෑ දිවා
සිත් තොසින් වදිම් පෙරහරට සිරසම ............නවා

නිකිණි සඳ එළිය මැද ඇසළ පෙරහර ..............සිරි
නිතිනි සිත් මත පහන් හැඟුම් දෙයි පිරි ............පිරී
තෙදිනි දෙවියන් වසන කඳු ඉමේ ...............අස්ගිරි
බැතිනි වඳීනෙමු පතා සිරි ලකට ................සවු සිරි

මගේ සිත නුඹ පෙමින් තෙමු හැටි ලොවෙන් සගවා ගනු බැරී ....

අකල් වැස්සක් සේ ඇදී
අවුත් සිත මත පතිත වී
මගේ සිත නුඹ පෙමින් තෙමු හැටි
ලොවෙන් සගවා ගනු බැරී

රෑට අහසේ සදවතී
වළා අතරින් එබි එබී
හිනාවෙන සේ මගේ සිත් මල
පිපෙයි නුඹ සෙනෙහෙන් දිලී

සිත පුරා මගෙ ගුලි ගැසී
නුඹෙ නමින් ඇති සිතුවිලී
එකින් එක ගොනු කර තියන්නම්
මතින් පිබිදෙන මල් පෙති

කවක පද මෙන් සුමිහිරී
ඔබේ සෙනෙහෙන් ඔද වැඩී
අලුත් පෙම් ගීයක් ලියන්නට
ඇත්තමයි මට ඇත සිතී ......

හිතේ සෙනෙහස ඔබෙ තමා ...


සිතින් කෙතරම් පෙම් කළත් නුඹ මුවින් නොකියා දී .....දුකක්
නෙතින් ගිලිහෙන කදුළු රහසින් දරා උන්නා මා ..........හුඟක්
ගතින් දෙතැනක සිතින් එක තැන මවා මා පෙම් .....සිහිනයක්
ඉතින් නුඹ මගෙ වේය පතමින් බලා ඉන්නම් .........කල්පයක්

මුදා කඳුළැලි සිනාසෙන්නට පෙරුම් පුරනා මුත් ..........මෙමා
අළුත් කඳුළක් යළිත් එබුණා කොපුල් තල රහසෙන් ....තෙමා
මගෙන් ඈතක බොහෝ දුරකට ගියත් සැඟවී මා ............දමා
ගතින් දුර මුත් හිතේ සෙනෙහස සදාකල්හිම ඔබෙ ........තමා

සිනාසෙන්නම් හදේ මැවෙනා ඔබේ රුව සිත මත ........දරන්
කියාදෙන්නම් ලොවට දවසක තනිව පෙම් කරනා .......තරන්
බලා ඉන්නම් වඩින තුරු ඔබ මගෙ ලොවට සිනහා ......අරන්
දරා ගන්නම් එදා වෙනකල් නැගෙන දුක හද තෙත් .....කරන්

අකීකරු අකුරු ...

අකීකරු අකුරු වැල්
හිත යටින් මතු වෙලා
ආදරේ කවි පෙළක්
හිත මතම ගොතනවා...

හිනා වෙන ඔබේ ඇස්
ඒ අකුරු මත හිඳන්
තාම මං නොකියවූ
කතාවක් කියනවා ...

තනිකමට ගුලි වෙන්න
හිතේ දුක පවසන්න
ඔය හිතේ ඉඩ ඇත්ද
සිත මගෙන් අහනවා ...

නිම නොකළ පෙම් කවිය
හිත යටම සඟව ගෙන
පුරුදු තනිකම දරන්
මං සුසුම් සිඹිනවා .....

...ගබ්සාවක පාපොච්චාරණය....


යනෙන මගක අතර මගදි
හමුව සිනා සී ලං වුණු
මග වැරදුණු තරුවෙන් මං
එළියක් පැතුවා ..
ඒ එළියෙන් මගෙ ලොව
එළි වේ යැයි සිතුවා ...

වැටකේ හෙවණක සයුරු තෙරක
සිනමාවක අඳුරු කොණක
අවන්හලක පොඩි කුටියක
සෙනෙහස සෙව්වා ..
බැඳි සෙනෙහෙන් මා පතිවත
ඔහු වෙත පිදුවා ...

වරු ගණනක් දොඩමළු වූ
ඇමතුම් එකිනෙක අඩු වී
දවසින් දවසට බැඳී පෙම්
බැමි ඔහු බින්දා ...
වාවනු නොහැකිව හද දුක
මා ඉකි බින්දා ....

මෝරන ගැබ පාරන සිත
අළුතෙන් කඳුළක් මතු කර
පාළුව තනිකම දිවියට
විස කර පෙව්වා ....
සිතල කඳුළක් යළි යළි
මා සිත දැවුවා ....

සමාවෙයන් 'පුත' නුඹ මට
ලෝකය දකිනට පින් මද
ලොවට හොරෙන් නුඹ නසනට
සිත දිරි වැඩුවා...
මොහොතින් නුඹ රුහිරු ගඟක
පා කර යැව්වා ....

රතුපස්වල කඳුළු ....


මාවිල් ආරුවේ දිය කඳ එදා වැසූ 
නොමිනිස් කොටි රැළට පිට පිට පහර ගැසූ 
අවිගත් සෙබළ දරුවෙනි, ගුණ ගැයුම් ඇසූ 
කිම අද මෙලෙස අසරණ දිවි තුනක් නැසූ 

යුද අපරාධ සිදු වූ බව ලංකාවේ 
පැන පැන චැනල් ෆෝ ලොවටම ගෙනාවේ 
දැක මේ විපත ලෝකෙම අද හිනා වේ 
මොනවා කියන්නද වුණු දේ වුණාවේ 

පවසට සිහිල් දිය බිඳකුඳු කොහි වේද 
ජන රළ මඩින්නට උණ්ඩය ඇති වීද 
හෙට යළි සටන් කරනට උන් නොම ඒද 
යුක්තිය මෙයයි රට හෙට කොයිබට යාද ???!!

මගේ අම්මේ ඔබ ළඟ මට තාම කිරි සුවඳයි ............


රුවන්මැලියට උඩින් පායන පුර හඳේ එළියයි 
මහා බෝධියෙ ලදළු පත් සිප හමා එන සුවයයි 
කලා වැව් දිය සේමැ සැම කල් සදාතන සිසිළයි 
මගේ අම්මේ ඔබ ළඟ මට තාම කිරි සුවඳයි

තබා පියවර පිය නගන්නට ඔබෙන් ලද සවියයි 
වැටෙන හැම වර නැගිට ගන්නට ලබා දුන් දිරියයි 
මගේ දුක ළඟ ඔබේ නෙතු අග තෙමා ලූ කඳුළයි 
හිනා වෙන්නට කියා දුන්නේ ඔබේ නෙතු සඟලයි

කවා මසවුළු පුරා මා කුස දුකම ඔබ වළදන්නැති 
තනා මා ලොව සිනා සී ඔබ එදෙස බලමින් ඉන්නැති 
දරා ගත් දුක සදා කල්හිම ලොවේ කිසිවෙක් දන්නැති 
නවා මා හිස ඔබේ පා මුළ වඳිමි පින මට ඇති

Thursday, July 11, 2013

තරුව මමයි ඔබ ගාවම ඉන්න සඳවතී

මන්දාරම් අහස වගෙයි හඬන සිත මගේ
දරාන දුක සඟවා ගමි කඳුළු නැඟි ඇසේ
දුරින් බලා උන්නට ලං වෙන්න පින් නැතේ
හැමදාමත් හිනා වෙලා වෙන්ව යමු මෙසේ

දෙනෝදහක් ඇස් මග දිග දකින්නට ඇති
ඔය ඇස් මිස වෙන කිසිවක් මතක මත නැති
වදනක් වත් නොදොඩා දුන් සිනහා තොල් පෙති
මගෙ නොවුණත් මගෙයි කියා දරා ගමි නිති

හමුව සිනාසෙමු ලංවී ඉන්න පින නැති
හැම මොහොතෙම ලඟම රැඳෙමි සුළඟ හා එතී
එක කඳුළක් වත් හෙළන්න එපා දුක සිතී
තරුව මමයි ඔබ ගාවම ඉන්න සඳවතී

මා ළඟ ඉන්න ඒ මට ඇති


රෑ අහසයි ඔයා
තරු එළියක් වෙලා
පායන්නට පිනක් මට නැති

මල් කැකුළයි ඔයා
රොන් කෙමියක් වෙලා
ළඟ ඉන්නට පිනක් මට නැති

මද සුළඟයි ඔයා
මල් සුවඳක් වෙලා
දැවටෙන්නට පිනක් මට නැති

පිය දසුනයි ඔයා
රෑ සිහිනය වෙලා
මා ළඟ ඉන්න ඒ මට ඇති

පාර මතක නම් එනකල් බලා ඉන්නවා ...


ආයෙමත් අලුත් කඳුළක්
මෝදු වී දෙනෙත් අභියස
රූරලා වැටෙනු රිසියෙන්
බලා හිඳිනවා ....

සෝදලා හරින්නට දුක
ඉකි ගසා හඬමි වරුවක්
ඒ වුණත් තවම මතකයෙ
නුඹ හිනැහෙනවා ...

පාරලා යළි යළිත් මේ සිත
මතක මත රැඳී හිනැහෙන
සමු නොගෙන දුරක ගිය නුඹ
මගෙයි සිතෙනවා ....

මේ හිතම ඔබෙයි තාමත්
ආදරේ එදා වගෙමයි
පාර මතක නම් එනකල්
බලා ඉන්නවා ...

නෑ තව කඳුළු මා නෙත් විලේ ....

හොර රහසේ ඇවිත්
හිත ළඟ නැවතිලා
පෙම් කවියක් ලියා මා සිතේ
නැවතී ඉන්න ඉඩ ඉල්ලනා
කටකාර කුමරාණනේ ..

නෙතු කඳුලක් තියා
මා හිත් මල පෙළා
නුඹ දුර යාවි යළි හෙට දිනේ
දුක් කවියක් ලියා මා සිතේ
උණු කඳුළක් තියා නෙත් ඉමේ ....

රිදුනා එක වරක්
හැඬුවා මම හුඟක්
ඇයි ලං වෙන්නේ ඔබ මේ ලෙසේ
යළි රිදවන්න බෑ හිත මගේ
නෑ තව කඳුළු මා නෙත් විලේ ....

මාය ඔබගේ පෙම්වතී ..


හිරුත් ලොව නොදුටුව පැතී
සොයා සුළඟක් යයි නිති
එවන් සුලඟක එති එතී
ඔබේ හිත මත ඉමි නිති

අඳුරු රෑකදී සඳු නැති
කුමුදු සුපිපෙන්නේ නැති
කුමුද වී පිපෙනට නිති
ඔබයි මාගේ සඳවතී

සතුට වී නෙතු මත එතී
ඔබම සැමදා ඉන්නැති
කඳුළු ආවත් දුක හිතී
මාය ඔබගේ පෙම්වතී

අලුතෙන් කඳුළැල්ලක් එපා ගෙනෙන්න ....

සීතල ඇස් අද්දර
කඳුළු වේළුනා විතරයි
අලුතෙන් කඳුළැල්ලක්
එපා ගෙනෙන්න ....

උහුලපු දුක් ගින්දර
නිවිලා නෑ  තවමත්
අලුතෙන් දුක් කන්දක්
එපා දෙවන්න .....

සිහිනය නපුරුයි දුටු
පාරයි සිත සිය වර
අලුතෙන් හීන අරන්
හිතට නොඑන්න ....

කඳුළයි උරුමය මට
සිනහව නෑ දැන් ළඟ
අලුතෙන් හිනා මලක්
එපා පුදන්න .......

දෙව් සමිඳාණනේ ....



දරන් අත් දොළසක් ද හිස් හය වඩින මයුරා වාහනේ
තෙදින් බලගතු දෙනෙත් යොමනා සතට දෙව් සමිඳාණනේ
බැඳන් හිස අත් පුදා මොණරුන් තබා පුජා භාජනේ
සවන් යොමවා අසන්නෙද නුඹ ඔවුන් යදිනා කාරණේ

මවක් අවුදින් දෑත දරමින් වට්ටියක පලතුරු තියා
විභාගෙට තව සතියකුත් නෑ මගේ පුතු හට කිය කියා
මොණර කොළ යට ලොකුම  අකුරෙන් විභාගයෙ අංකය ලියා
යදී දෙවියන් නිසොල්මන් වී දෑස තද කර ගෙන පියා

සුදෝ සුදු ඇඳුමකින් සරසා දරා ගෙන මහ උදරයක්
අඳුරු කළ රථයකින් බිම බට සමග වට රැඳි පිරිවරක්
අයෙක් පීරා සෙනඟ පිය මැන දෙවිඳු අභියස පියවරක්
යදී ඇසෙනා නෑසෙනා ලෙස ලබා දෙන්නට යළි ජයක්

හඬා වැළපී ගසා හිස අත් කියන්නට තම වේදනා
ඉඩම් නඩුවට, තරග දිනුමට කී නොකී නෙක කාරණා
හිත් දරා ගෙන ගෙවා බෝ දුර ඔබ වෙතට ආ මේ දනා
රකින්නේ ඔබ කෙලෙස දෙවිඳුනි කිව මැනේ  මට කුළුනිණා

Friday, May 31, 2013

දුරින්ම ඉන්නම් එතකොට පුළුවන් හොඳින් බලා ගන්න ...

ආල හිනා ළඟ කෝල වෙලා මං බයෙන් බලන් උන්නා
දෑස පුරා රස රහස් ලියා නුඹ අලුත් හිනා දුන්නා
පාන හිනාවෙන් පාර කියා නුඹ අනන්තයක් මැව්වා
පාර දුරයි මට යන්න බයයි මං දෑස් පියන් වැහුවා

හිත හිරිවට්ටන ඔය ඇස් මානෙන් වහං වෙලා යන්න
දුකක් දැනෙනවා හිතෙන් අදිනවා ඔබේ ලඟින් ඉන්න
දාහක් ඇස් අප දිහා බලන් ඇති අපටත් නොදැනෙන්න
දුරින්ම ඉන්නම් එතකොට පුළුවන් හොඳින් බලා ගන්න

නාදුනන නුඹට ...

මගේ ඇස් ගැන මටත් වැඩියෙන් නුඹ කොහොම දන්නේ
හිනාවක් හිතවත් කමක් මිස කිසිත් නෑ දුන්නේ
ගමේ මා ගැන කතා හැදුනොත් කෝම ඉවසන්නේ
ළඟට නෑවිත් දුරින් උන්නොත් නෑ දොසක් වෙන්නේ

දිනක් දෙකකට වැඩිය මා නෑ තවම නුඹ දැකලා
එකක් දෙහෙකට වැඩිය වදනුත් නැතේ මා දොඩලා
නුඹ මගේයැයි කිසිම මොහොතක නැතේ මට දැනිලා
ඉතින් කෝමද නුඹේ වෙන්නේ නුඹට හිත පුදලා

අහම්බෙන් වත් දැක්කොතින් නුදුටුව ලෙසින් යන්නම්
දන්න අඳුනන කමටවත් සිනහා නොවී ඉන්නම්
ලස්සනයි ඔබ කී මගේ ඇස් ඔබෙන් සඟවන්නම්
ඉදින් මේ හිතවත්කමට මා මෙයින් සමු දෙන්නම්