Thursday, July 11, 2013

තරුව මමයි ඔබ ගාවම ඉන්න සඳවතී

මන්දාරම් අහස වගෙයි හඬන සිත මගේ
දරාන දුක සඟවා ගමි කඳුළු නැඟි ඇසේ
දුරින් බලා උන්නට ලං වෙන්න පින් නැතේ
හැමදාමත් හිනා වෙලා වෙන්ව යමු මෙසේ

දෙනෝදහක් ඇස් මග දිග දකින්නට ඇති
ඔය ඇස් මිස වෙන කිසිවක් මතක මත නැති
වදනක් වත් නොදොඩා දුන් සිනහා තොල් පෙති
මගෙ නොවුණත් මගෙයි කියා දරා ගමි නිති

හමුව සිනාසෙමු ලංවී ඉන්න පින නැති
හැම මොහොතෙම ලඟම රැඳෙමි සුළඟ හා එතී
එක කඳුළක් වත් හෙළන්න එපා දුක සිතී
තරුව මමයි ඔබ ගාවම ඉන්න සඳවතී

මා ළඟ ඉන්න ඒ මට ඇති


රෑ අහසයි ඔයා
තරු එළියක් වෙලා
පායන්නට පිනක් මට නැති

මල් කැකුළයි ඔයා
රොන් කෙමියක් වෙලා
ළඟ ඉන්නට පිනක් මට නැති

මද සුළඟයි ඔයා
මල් සුවඳක් වෙලා
දැවටෙන්නට පිනක් මට නැති

පිය දසුනයි ඔයා
රෑ සිහිනය වෙලා
මා ළඟ ඉන්න ඒ මට ඇති

පාර මතක නම් එනකල් බලා ඉන්නවා ...


ආයෙමත් අලුත් කඳුළක්
මෝදු වී දෙනෙත් අභියස
රූරලා වැටෙනු රිසියෙන්
බලා හිඳිනවා ....

සෝදලා හරින්නට දුක
ඉකි ගසා හඬමි වරුවක්
ඒ වුණත් තවම මතකයෙ
නුඹ හිනැහෙනවා ...

පාරලා යළි යළිත් මේ සිත
මතක මත රැඳී හිනැහෙන
සමු නොගෙන දුරක ගිය නුඹ
මගෙයි සිතෙනවා ....

මේ හිතම ඔබෙයි තාමත්
ආදරේ එදා වගෙමයි
පාර මතක නම් එනකල්
බලා ඉන්නවා ...

නෑ තව කඳුළු මා නෙත් විලේ ....

හොර රහසේ ඇවිත්
හිත ළඟ නැවතිලා
පෙම් කවියක් ලියා මා සිතේ
නැවතී ඉන්න ඉඩ ඉල්ලනා
කටකාර කුමරාණනේ ..

නෙතු කඳුලක් තියා
මා හිත් මල පෙළා
නුඹ දුර යාවි යළි හෙට දිනේ
දුක් කවියක් ලියා මා සිතේ
උණු කඳුළක් තියා නෙත් ඉමේ ....

රිදුනා එක වරක්
හැඬුවා මම හුඟක්
ඇයි ලං වෙන්නේ ඔබ මේ ලෙසේ
යළි රිදවන්න බෑ හිත මගේ
නෑ තව කඳුළු මා නෙත් විලේ ....

මාය ඔබගේ පෙම්වතී ..


හිරුත් ලොව නොදුටුව පැතී
සොයා සුළඟක් යයි නිති
එවන් සුලඟක එති එතී
ඔබේ හිත මත ඉමි නිති

අඳුරු රෑකදී සඳු නැති
කුමුදු සුපිපෙන්නේ නැති
කුමුද වී පිපෙනට නිති
ඔබයි මාගේ සඳවතී

සතුට වී නෙතු මත එතී
ඔබම සැමදා ඉන්නැති
කඳුළු ආවත් දුක හිතී
මාය ඔබගේ පෙම්වතී

අලුතෙන් කඳුළැල්ලක් එපා ගෙනෙන්න ....

සීතල ඇස් අද්දර
කඳුළු වේළුනා විතරයි
අලුතෙන් කඳුළැල්ලක්
එපා ගෙනෙන්න ....

උහුලපු දුක් ගින්දර
නිවිලා නෑ  තවමත්
අලුතෙන් දුක් කන්දක්
එපා දෙවන්න .....

සිහිනය නපුරුයි දුටු
පාරයි සිත සිය වර
අලුතෙන් හීන අරන්
හිතට නොඑන්න ....

කඳුළයි උරුමය මට
සිනහව නෑ දැන් ළඟ
අලුතෙන් හිනා මලක්
එපා පුදන්න .......

දෙව් සමිඳාණනේ ....



දරන් අත් දොළසක් ද හිස් හය වඩින මයුරා වාහනේ
තෙදින් බලගතු දෙනෙත් යොමනා සතට දෙව් සමිඳාණනේ
බැඳන් හිස අත් පුදා මොණරුන් තබා පුජා භාජනේ
සවන් යොමවා අසන්නෙද නුඹ ඔවුන් යදිනා කාරණේ

මවක් අවුදින් දෑත දරමින් වට්ටියක පලතුරු තියා
විභාගෙට තව සතියකුත් නෑ මගේ පුතු හට කිය කියා
මොණර කොළ යට ලොකුම  අකුරෙන් විභාගයෙ අංකය ලියා
යදී දෙවියන් නිසොල්මන් වී දෑස තද කර ගෙන පියා

සුදෝ සුදු ඇඳුමකින් සරසා දරා ගෙන මහ උදරයක්
අඳුරු කළ රථයකින් බිම බට සමග වට රැඳි පිරිවරක්
අයෙක් පීරා සෙනඟ පිය මැන දෙවිඳු අභියස පියවරක්
යදී ඇසෙනා නෑසෙනා ලෙස ලබා දෙන්නට යළි ජයක්

හඬා වැළපී ගසා හිස අත් කියන්නට තම වේදනා
ඉඩම් නඩුවට, තරග දිනුමට කී නොකී නෙක කාරණා
හිත් දරා ගෙන ගෙවා බෝ දුර ඔබ වෙතට ආ මේ දනා
රකින්නේ ඔබ කෙලෙස දෙවිඳුනි කිව මැනේ  මට කුළුනිණා