Thursday, July 11, 2013

දෙව් සමිඳාණනේ ....



දරන් අත් දොළසක් ද හිස් හය වඩින මයුරා වාහනේ
තෙදින් බලගතු දෙනෙත් යොමනා සතට දෙව් සමිඳාණනේ
බැඳන් හිස අත් පුදා මොණරුන් තබා පුජා භාජනේ
සවන් යොමවා අසන්නෙද නුඹ ඔවුන් යදිනා කාරණේ

මවක් අවුදින් දෑත දරමින් වට්ටියක පලතුරු තියා
විභාගෙට තව සතියකුත් නෑ මගේ පුතු හට කිය කියා
මොණර කොළ යට ලොකුම  අකුරෙන් විභාගයෙ අංකය ලියා
යදී දෙවියන් නිසොල්මන් වී දෑස තද කර ගෙන පියා

සුදෝ සුදු ඇඳුමකින් සරසා දරා ගෙන මහ උදරයක්
අඳුරු කළ රථයකින් බිම බට සමග වට රැඳි පිරිවරක්
අයෙක් පීරා සෙනඟ පිය මැන දෙවිඳු අභියස පියවරක්
යදී ඇසෙනා නෑසෙනා ලෙස ලබා දෙන්නට යළි ජයක්

හඬා වැළපී ගසා හිස අත් කියන්නට තම වේදනා
ඉඩම් නඩුවට, තරග දිනුමට කී නොකී නෙක කාරණා
හිත් දරා ගෙන ගෙවා බෝ දුර ඔබ වෙතට ආ මේ දනා
රකින්නේ ඔබ කෙලෙස දෙවිඳුනි කිව මැනේ  මට කුළුනිණා

No comments:

Post a Comment