Thursday, January 30, 2014

ගීත පද මුමුණනා අම්මා ...


කන්තෝරුවේ හවස
තේ වෙලාවෙ දී දුන්නු
විස්කෝතු දෙක හොරෙන් හංගා
ගෙදර ගෙනවිත් සුරැක
මයෙ පුතේ කාපන්ය
ම'වෙත දුන්නේ මගේ අම්මා ...

බඩ වැටියේ ඇවිදිමින්
සොයා ගෙන විත් ගහල
මගේ කුස පුරවනා තම්බා
අල්ල කා කහට බී
සීනි වැඩිපුර දැමූ
කිරි තේක මට දුන්නු අම්මා ...

කඳුළු කැට දිළිසෙනා
ඇස් වහං කර මගෙන්
මුව මතට සිනහවක් නංවා
රෑට ඉහ අද්දරින්
රෑහි හඬ නොඇසෙන්න
ගීත පද මුමුණනා අම්මා ...

No comments:

Post a Comment