බිම් කළුවර වැටෙයි දසතම අඳුරු කර
ඔබ හිනැහෙයි ඇවිත් හිත් මල විවර කර
තව කල් ඉන්නේ කෝමද දුක තුරුළු කර
විගහින් ඇවිත් සනසන් සිත සතුටු කර
කඳුලට සිනාවක් නෙතු අග ගවසන්න
දුක ළඟ සතුට වී හැමදාමත් ඉන්න
නිල්මිණි දෙනෙත් යට සෙනෙහෙන් නැහැ වෙන්න
රහසින් නොවෙයි හැබැහින් ඇවිදින් යන්න
කොපුලත වෙළෙන ඔබෙ සුසුමේ දැවටෙන්න
සුළඟට හොරෙන් පෙම් සුවඳක් තවරන්න
නොලියු කවට අලුතෙන් පද අමුණන්න
එනතුරු මග බලමි නෙතු මත සැතපෙන්න
සෙනෙහස විලෙන් දිය දෝතක් අර ගන්න
නෙළුමක සුවඳ හද අරණේ රඳ වන්න
මල් මකරන්දයෙන් මත් වී සැනහෙන්න
මගෙ මුළු හිත වෙලා අවුදින් ඔබ ඉන්න
බඹරිඳු වඩින තුරු හිනැහෙන නෙළුම වගේ
පිබිදී බලා හිඳිනා පෙම් සිතට මගේ
ඔබ මුදු සුවඳ අවුදින් මද සුළඟ දිගේ
නළවයි කලඹවා දිය මා සෙනෙහේ ගඟේ
No comments:
Post a Comment