සුමුදු මල් පෙති උදා පින්නෙන් නැවුම් සළු ඇඳ සැරසිලා
කුමුදු සැඟවුණු විල් තලේ රත් නෙලුම් පෙති විකසිත වෙලා
දිනිඳු පෙරඹර සිට හිනා වී අලුත් දවසක් එක් කළා
නමුදු කඳුලක් මගේ නෙතු අග රැඳී හදවත තෙත් කළා
සින්දු කියනා විහඟ තුඩු මත විරහා ගීයක් මිමිනුනා
නින්ද නැති නෙතු මතක සිහිනය පුරා තනිවම වැලපුනා
බැන්ද පෙම මා හදෙහි සිරවී නෙත'ඟ කඳුලක දැවටුනා
මන්ද නුඹ මට නපුරු වුයේ මගේ කවි හිත තනි වුණා
ලියූ හැම කවියකම හැංගි බලා උන්නෙත් නුඹ නෙතයි
නෙතේ සිනහව අතර රජවී සිනහ මැව්වේ නුඹ සිතයි
සිතේ ආදර හැඟුම් පුබුදා දිරිය වුයේ මට නුඹයි
මගේ අරමුණ මගේ ප්‍රාණය මගේ ජීවය නුඹ තමයි
රිදුණු සිත මා දරා ගන්නම් රිදුනේ මට නුඹ ගෙන් නිසා
බිඳුණු පෙම ගැන කවි ලියන්නම් කඳුළු මට බර වැඩි නිසා
දැනුනු මහා දුක නුඹ දනී නම් යළිත් එන්නට හැකි නිසා
කඳුළු සඟවන් හිනා වෙන්නම් සිතින් තාමත් ඔබෙ නිසා
No comments:
Post a Comment