මල් තලා රොන් උරා පැන යන
වන බඹර කුලයේ අයෙකු මෙන්
උරා අම රස නුරා මත් කර
පළා ගියෙ කිම්දැයි කියන් නුඹ ...
දරා බෝ දුක සොයා නුඹ ගැන
බලා සිටියා නැතිව තොරතුරු
හෙලා කඳුලක් උපන් සෙනෙහෙට
මුදා හැරියා ලොවට රහසෙම ...
අවැසි විට විත් අතැර යන්නට
වෙසඟනක් පමණක් ද නුඹ හට
සයනයේ සිහිනයම මිස නුඹ
ආදරේ හඳුනන්නේ නැතිවද ...
සිහිනයක් සේ රැයක දී දුටු
ආදරේ විජිතය මවා දී
කඳුළු විල කළඹලා නෙතු මත
නුඹ ගියා දුක තියා හිත ළඟ ..
තවත් නම් මම කඳුළු නොසලමි
නුඹ එතැයි සිත සිතා නොතැවෙමි
පුරුදු තනිකම සමග සදහට
කඳුළු මැද සැමදාම හිනැහෙමි ...
No comments:
Post a Comment