Thursday, December 27, 2012

අප්පච්චිගේ කඳුළු




නියං සාය අවුදින් පොළොවම ඉරි තැලුවම 
අප්පච්චිගෙ ඇස් දුටුවා කඳුළු හිනා වෙන 
නියර දිගේ බිම බලාන බර අඩි තිය තිය 
අප්පච්චි ඇවිද ගියා හැඬුම් සගෝ ගෙන 

වැහි දෙයියෝ ආකාසෙන් වඩින තුරාවට 
අප්පච්චි සුසුම් ලෑවා අපටත් රහසෙම 
වැහි ඇල්ලක් ආකසෙන් බිමට ගෙනාවම 
අප්පච්චි හිනා වුණේ කඳුළු දරා ගෙන 

අඳ කුඹුරේ පුංචි ගොයම් නිල්ල දිලෙනකොට 
අප්පච්චිගෙ ඇස් දිලුණා තරුවක් වාගෙම 
කිරි වැදිලා ගොයම් කරල් පිදී එනකොට 
ඒ හිනාව එකළු වුණා පුන් සඳු වාගෙම 

රන් පාටට ගොයම් කරල් පාට වැටෙන කල 
අප්පච්චි ඇඟිලි ගැන්නා නැකතක් එන තුරු 
අප්පච්චිගෙ හීන කන්ද සෝදා හරිමින 
වැහි දෙයියෝ නපුරු වුණා කාටත් රහසෙම

No comments:

Post a Comment