Sunday, February 24, 2013

අත්තම්මා



පාන්දරම අවදි වෙලා හිරු එන්නට පෙර
මිදුල පුරා ඉදල අරන් හැඩැති රටා කර
පාසල් යන්නට හනිකට මාව අවදි කර
අත්තම්මා මා තනි කර ගොහින් හුඟක් දුර

වෙල් දෙණියේ බඩ වැටියේ හවසට ඇවිදින
වෙරළු කීන පළු මාදන් හොරෙන් ගෙනත් දෙන
අත්තමේ මතක පොතේ නුඹ ඉන්නා තැන
සුන්දර සිතුවමක් වගෙයි මදහස නංවන

සිනා වෙනා සුදු වතුසුදු නෙලාන හවහට
ගියා එදා නියර දිගේ පන්සල් කන්දට
කියා මහා සද්දෙට ගථා හරි හරියට
අත්තම්මේ නුඹේ කටහඬ යළි එයි මතකෙට

සුදු ඇතිරිලි ඇඳන් පුර පස පෝ දාට
පන්සල් ගියේ අවනත වන්නැයි ඈට
අදටත් පොහොය සඳ විත් හිනැහෙන රෑට
අත්තම්මා සිහිව කඳුලැලි එයි ඇහැට

පිලේ ඉදන් කියා දුන්නු පරණ කතන්දර
මතක් වුණත් සිනහව මුව මැවෙනවා සුන්දර
අත්තම්මේ නිවන් පුරේ සැනහෙන්නට පෙර
යළිත් පෙර ලෙසින් ඉනු මැන ඉඳි වැට අද්දර


No comments:

Post a Comment