Friday, January 18, 2013

අම්මාට එතෙර සිට


උකුලෙ විඳි සුව පෙරදී දිනයක 
මතක් වෙනවා මැවි මැවී 
කිරට හැරි ඔබ රුහිරු බිඳුවෙන් 
මගේ ජීවය පණ ලැබී 
එඩිය ඔබ දුන් ගතෙහි ඇට මස්
නහර ඔස්සේ යයි ඇදී 
එදා වාගෙම අදත් රැව් දෙයි 
ඔබේ මිහිරැති නැළවිලි

ඇඟිලි තුඩගින් 'හිස පිරි මැද
කොපුල් තල සිඹ සනසලා 
පුතුනි, දිනයක රජෙකු වියන් 
කීය සිනහා තවරලා 
වැටෙන විට ළඟ රැඳුනි නිරතුරු 
මහ මෙරක සවියක් වෙලා 
ඔබයි පුන් සඳ දිලෙන අඹරෙහි 
එකළු කරමින් කළු වළා 

පහන් තරුවක් ලෙසින් දිලිහි 
මග නොමග පෙන්වා දුනි  
නෙතින් දහසක් වදන් තෙපලා 
උන්නු ගොළු වූ මුවඟිනි
යොදුන් ගණනක් දුර ගෙවා ගෙන 
ඇවිත් දැවටී සෙනෙහෙනි 
නමා මා හිස ඔබේ පාමුල 
වඳිමි සැමදා බැතියෙනි 

No comments:

Post a Comment