Sunday, October 28, 2012

මගේ සිත මට දෙන්න


සිතුවිල්ල වී සිතේ ඉන්න පැතුවා මෙ'මන්
සැනසිල්ල උදුර ගෙන ගියෙ කිමද මට හොරෙන්
ගඟුලැල්ල පරදන්න කඳුළු හැලුවත් ඉතින්
සෙවනැල්ල සේ ඉඳිමි ආවොතින් ආදරෙන්

අඳුරේ දී හැර ගියයි ඔබ සිතුව සෙවනැල්ල
ඔබ ලඟම ඇත තාම වී ඔබෙ සැනසිල්ල
සිනාසෙමි පිස දමන් දෙනෙත නැගී කඳුලැල්ල
ඉඩ දෙන්න ළඟ ඉන්න විලස ඔබෙ සිතුවිල්ල

කඳුළු දී නෙතු මතට ඔබයි මා හැර ගියේ
තනිව මග බලමි තව ඔබ එතැයි මා ප්‍රියේ
ඔබ උන්නු තැනම සිත ඔබ නමින් ඉඩ තියේ
යළි එන්න  පෙර විලස හොවමි ඔබ මා ලයේ

තනිකමට හුරුයි සිත හැකිය මට තනි වෙන්න
හඬන නෙතු මත කඳුල වී සදා ඔබ ඉන්න
ආයෙමත් ආදරෙන් නොහැකි නම් යළි එන්න
මගෙන් ඔබ රැගෙන ගිය මගේ සිත මට දෙන්න

No comments:

Post a Comment