Saturday, October 27, 2012

දරා ගනිමි මේ පෙම ලොවටම රහසේ


හදවත් බැඳුණි වැද මලවිගේ මල් හීය
මේ පෙම ඇරඹුණේ පෙර භවයක දීය 
ගං තෙර ලඟට වී අරගෙන බට ලීය 
තනුවක් යොදා ගයමුද අපි පෙම් ගීය

හිස සතපාන ඔය ලය මත සුව යහනේ
නෙත් යුග පියා දකිනෙමි මම සුව සිහිනේ 
සුසුමක සුවඳ විඳිමින් එන මද පවනේ 
ගීයක් වෙලා ඉන්නෙමි ඔබ හද අරණේ 

සරා සඳ නැතත් තරුවක් ඇත අහසේ
නුරා ලවන් ඔබ ගැන විමසයි රහසේ
අරා මහද නළවයි ඔබ මුදු පහසේ 
දරා ගනිමි මේ පෙම ලොවටම රහසේ 

සිත් අහසේ සඳු වී සුදිලෙනු මැනැවි
නෙත් අග කඳුලකට සිනහා දුන මැනැවි
මත් කර 'හද පෙම් අම මී දෙනු මැනැවි 
අත් වැල විලස දිවි ගමනේ ඉනු මැනැවි 

ඈතක උන්නත් උණුහුම පෙර වාගෙමයි 
මෑතක මා ගාවම තව ඉන්නවා වාගෙයි 
දෑසක මේ ගලන කඳුළු ඔබ හන්දාමයි
බාදක  බිඳ එනු මා තවමත් ඔබගේමයි 

No comments:

Post a Comment