Friday, October 26, 2012

නඩත්තු නඩුවදා ඉල්ලුම්කාරිය (නො)කී කව


ඇස් දෙක වගේ නුඹ රැක ගන්නම් කියලා 
නෑදෑ සනුහරේ මැද පෝරුවේ තියලා 
කැන්දාගෙන ඇවිත්  කරකාරෙට බැඳලා
උන්නා නොවේද  සත් වසරක්  මගෙම වෙලා 

පොඩි පුතු නුඹ වගේමයි නෑ කිසි වෙනසක්
දෝණිගේ ලෝකයේ නම් නුඹ වෙයි රජිදෙක්
මේ ලොව නොවේ ඔබ හා සම වන සැමියෙක් 
කුලගෙය රජ ගෙයක් විය එහි නෑ සැකයක් 

මා පිසූ බත් පතේ රස අඩු වුනාදෝ 
කාලය සමග ආලය ගිලිහුනාදෝ
සතු කවර ගුණයට රැවටුනාදෝ
කුලගෙය ගිනි තබා කොහි ඉගිලුනාදෝ 

දින සති මාස ඔබ ළඟ නැතිවම ගෙවුනා
ඔබ කොහි වේද දරුවන් නිරතුරු තැවුනා
අඟ හිඟ තැවුල් ඇවිදින් ගෙය වෙත එබුනා 
කණකර එකින් එක උගසට ගොස් තැබුණා 

ඉන්නා තැනක් දැන ගත් හැටි අහම්බයක්
දැම්මේ නඩුව ගනු පිණිසයි නඩත්තුවක් 
නොපැමිණි නිසා අර ගත්තේ වරෙන්තුවක් 
දරුවන් නමිනි මා දැම්මේ මාන්චුවක් 

කෙස් පැලෙනා තර්ක දැම්මත් දෙපැත්තම
එක්කරලන්න හැකි වේවිද බිඳුණු පෙම
කුසගිනි නිවන්නට කිරි නැත වැරුණු ලැම
දරුවන් හඬන විට රහසෙම හඬමි මම  

දරුවන් නමින් දෙන රුපියල් පන් දහස
ගන්නට උසාවිය වෙත යමි වී වෙහෙස
ගෙවුනත් එකින් එක දින, සති හා මාස 
මුදලින් ඔබේ අඩුව පුරවන්නේ කෙලෙස ..........

1 comment:

  1. mage hadawathata katha kala kawiyak.. lassanai... meka aththak..ehema kiwwe mama mamath inne mehema parsneka nisa... minissunge parsna thamange wage danena kenekutai mehema lassanata kawi liyanna puluwan... gayani oyage lekana hakiyaawa thawath wadi wenna maa suba pathami

    ReplyDelete