Saturday, October 27, 2012

ඔබ එතැයි හිතන් මා තවම මග බලනවා

එදා වාගේ අදත් මහ වැස්ස වැටෙනවා
ලඟින් උන් දවස් මතකයට එබෙනවා
මතක අතුරෙන් අවුත් උණුහුමක් දැනෙනවා
උණුහුමට ගුලි වෙන්න එන්න මට හිතෙනවා 

මතකයන් අතර හිඳ ඔබ සිනා නගනවා 
කඳුළු එනකල් හිනා නැගු අයුරු මැවෙනවා 
සිත රිදී ආයෙමත් උණු කඳුළු නැගෙනවා
හිනාවක් සොයාගෙන එන්න මට හිතෙනවා 

කවුළුවෙන් මට හොරෙන් සුළං රැලි එබෙනවා 
සුළං රැල්ලේ එතී ඔබෙ හඬ ඇසෙනවා
එදා කියූ වදන් යළි හිතේ පොදි ගැහෙනවා 
පෙර වගේ ළඟ ඉන්න එන්න මට හිතෙනවා  

පින්න මල් පෙර වගේ ලන්ද කොන පිපෙනවා
o ගහේ කුරුල්ලන් තවම ගී ගයනවා
ඔබ උන්නු තැන හදේ අදත් ඉඩ තියෙනවා
ඔබ එතැයි හිතන් මා තවම මග බලනවා 

No comments:

Post a Comment