Saturday, October 27, 2012

අලුත් කවිය..


නෙතේ නැගෙනා කඳුළු රහසෙම නෙතින් ගිලිහි වැටෙනවා
සිතේ පිරෙනා සුසුම් අහසට හොරෙන් මුදවා හරිනවා 
වතේ සිනහා දරන් නිරතුරු ලොවට සිනහා බෙදනවා 
අතේ පන්හිඳ රැඳෙන තුරු මම අලුත් පද වැල් බඳිනවා  

ඉනු කඳුලක් ගලා ඇවිදින් අලුත් කවියක් ලියනවා
හෙලූ සුසුමක සැඟවිලා විත් ඔබත් මසිතට එබෙනවා
දැරූ කඳුලක බරට වැඩියෙන් හිනාවක බර දැනෙනවා
ලියු කවියක තනුව වෙන්නට මටත් එන්නට හිතෙනවා 

අරුණ උදයේ පෙරඹ අහසේ  ප්‍රභාතය එයි හිනැහිලා
දැනුණ දුක් ගිනි තැවුල් වියැකී යළිත් මා සිත පිබිදිලා
රෑට අහසේ එකම තරුවද තවත් ඇත තරු දිලිසිලා
අලුත් තරුවක අලුත් පැතුමක් ලියමි කවියක අමුණලා

කඳුළු අතරින් හිනාවක් විත් හිතේ නැගි දුක මකනවා
මිතුරු සිතුවිලි අතර මා සිත ඉපිලෙමින් උඩ පනිනවා
ලියු කවි පද අතර සැඟවී ඔබත් මට ඉඟි කරනවා
දිළිසෙනා දෙනත දැක මා අලුත් කවියක් ලියනවා 

No comments:

Post a Comment