Friday, October 26, 2012

පෙම්වන්ත සිහිනය


සඳ ලඟින් තනිකමට රැඳෙනා පුංචි තරුවක් විලස රෑ කල 
හද මලෙහි වෙළෙනෙමි සදාකල් සුවඳ ලෙස සිත් මල මුදා හළ
බැඳ දමා සිත පෙම් හුයෙන් මල්බර වසත් කාලය උදා කළ 
ලද පෙමට උපමා ගොතන්නට සඳ තරු හැඩ මදිය මල් වල 

ඝන වළාවක් මැදින් දිලෙනා රිදී එළියකි ඔබේ සෙනෙහස
මද නළක් සේ වෙළී සියොළඟ නිවාලයි සිත් ඉමේ සරතැස
දෙතොල් නොකියූ දහක් ගොළු බස් හොරෙන් කියනා ඔබේ මදහස 
සනසවයි සිත තැවුල් පිරිමැද තවරමින් මුදු හදේ සිහිලස 

කතර මැද නිල් දියයි ඔබ පෙම සනසවන හද ගිම් නිවා 
තාරුකාවකි මග කියා දෙන සඳ නොමැති රැයකදි පවා 
භාවනාවක සිසිල දනවයි සොඳුරු පෙම් සිහිනය මවා 
සසර සරනා තුරුම ඔබම ළඟ රැඳෙනෙමි මම රෑ දිවා 

කින්නරිය වී පෙර'ත්භවයක ඔබේ සෙවනෙම ඉන්නැති 
ඔබම පතමින් සසර මග කොතෙක් දුර දැයි දන්නැති 
වෙරළ සයුරට ඇදෙන විලසට ඔබ සොයා මා එන්නැති 
මහද නලවන සෙනේ මිස මිහිපිට සැපක් නම් මට නැති 

No comments:

Post a Comment