Friday, October 12, 2012

ඉඩ දෙන්න මට ඇවිත් ඔය හිතේ සැතපෙන්න

~~~~~ඉඩ දෙන්න මට ඇවිත් ඔය හිතේ සැතපෙන්න ~~~~~



වස්සාන සීතලට ඔබ ලඟම ගුලි වෙන්න
හදවතේ උණුසුමෙන් ජීවිතය විඳ ගන්න 
ආදරේ දෝතින්ම අරන් ඔබ ළඟ ඉන්න 
ඉඩ දෙන්න ඇවිත් මට ඔය හිතේ සැතපෙන්න 

තරු පිරුණු අහස යට හෙමින් ඇවිදන් යන්න
සඳ නැතත් තරු නැතත් රැයට එළියක් වෙන්න
සිත සුළගේ පවා පෙම් හිනා දවටන්න 
නොපමාව එමිය මම ආදරය විඳ ගන්න 

වස්සාන සීතලට සීතලක්  නොදැනෙන්න 
ආදරේ මුදු සිනා නෙත් කොනේ පළදන්න
දිවිතුරා ආදරෙයි දෙසවනට කොඳුරන්න 
ඉදිමි මම ඔබ ලඟම මියෙන තුරු සැනසෙන්න

සීතලට උණුහුමක් ලෙසින් ළඟ දැවටෙන්න
ගිම්හාන සුළඟකට පෙම් සුවඳ තවරන්න
හිනා කැකුලක් විලස දෙනෙත මත පොපියන්න
මට එන්න ඔය හදේ දොර කවුළු හැර ලන්න 

මල් පිපුණු වියන යට පිය නගා ඇවිදින්න
ආදරේ අහස යට තරු පොකුරු අමුණන්න 
ඔබ ලයෙහි හිස හොවා උණුහුමේ දැවටෙන්න 
සුළං රැල්ලේ එති එමිය ඔබ සිප ගන්න 

ඉදී නම් මග බලා ආදරෙන් පිළි ගන්න
හිනා මල් නෙලා එමි ඔබ වතේ අතුරන්න
සතුට වී හැමදාම ඔය නෙතෙහි සැතපෙන්න 
මා නමින් ඔබ හදෙහි දොර කවුළු හැර ලන්න

පෙරුම් පිරුවෙමි මමත් කවි හිතක රජ වෙන්න
ආදරෙන් ජිවිතේ පුරාවට ළඟ ඉන්න 
හීනයක් සැබෑවක් ලෙසින් මට විඳ ගන්න  
දැන් ඉතින් ඉඩ දෙන්න කවියේ එලි වැට වෙන්න

හීන පිරු නෙත් ඉමේ හිනා වැසි වස්සන්න 
ජිවිතේ ගීතයේ තනුව වී මිමිනෙන්න 
පාළු හිත ස්නේහයේ දියෙන් අස්වද්දන 
මා ඔබෙයි නොරිදවා මියෙන තුරු රැක ගන්න 

පැතුම් පැතුවෙමිය හැමදා ඔබේ වෙන්න
සිහිනයේ දැවටිලා රෑ දිවා ළඟ ඉන්න 
හිරු ඇවිත් නව දිනක් එළඹිලා පිළිගන්න 
ඉතින් අවසරද මට ඔය හිතේ සැඟවෙන්න 

1 comment:

  1. "පෙරුම් පිරුවෙමි මමත් කවි හිතක රජ වෙන්න
    ආදරෙන් ජිවිතේ පුරාවට ළඟ ඉන්න "
    ආදරණීය සිතුවිල්ලක්.....

    ReplyDelete